Wednesday, February 7, 2018

පුරවරින් සියනෑවට.. A journey to Gampaha


හැමදාමත් තදබල මාතෘකා කතා කරන්නට බැරි නිසාම අද අපි කතා කරන්නේ ගම්පහ ගැන ය. එය කිසිසේත්ම තදබල නගරයක් නොවේ. රාත්‍රියට නිදන නගරයකි. ගම්පහ සෑදී ඇත්තේ ගම් පහකිනි. ගම්පහ ඇත්තේ මුල්ලවල් දෙකක් අතර ය. ඒ ගණේමුල්ල හා බෙම්මුල්ල ය. ගම්පහ අවසන් වන්නේ මිරිස්වත්තෙනි. ගම්පහ මැද පත්තිරිප්පුව හැඩයට නිර්මාණය කර ඇති පන්සලක් ඇත. ඒ මැදගම පන්සලයි. වසරෙ මුල් කාලයේදී අලි ඇතුන් පිරිවරාගත් පෙරහැරක් යන්නේ මැදගම පන්සලේ සිටය. එදිනට පමණක් රාත්‍රී දහය වන තෙක් ජා ඇල බස් නැවතුම්පල ජනයාගෙන් පිරී පවතී. නැතිනම් 8.30 වන විට එහි බලු බල්ලෙක් නැත. එහෙත් සමහර විටෙක මිනිසුන් එකෙක් දෙන්නෙක් සිටීමට පුළුවන. මැදගම පන්සලට අමතරව විද්‍යාරවින්ද මහ පිරිවෙණ හා වෙල මැද පන්සල පිහිටා තිබෙන අතර ගල් පල්ලිය කීල්ස් සුපර් ආයතනයට එපිටින් පිහිටා ඇත. එය එක්දහස් නවසිය මුල් ගණන්වල ඉදිකරන ලද්දකි. ගම්පහ කියූ විට බණ්ඩාරනායකය, යශෝධරාව, හෝලි ක්‍රොස්, තක්ෂිලාව හා රත්නාවලිය කිසිසේත්ම අමතක කල නොහැක. ඒ ඒවා ශිෂ්‍යත්වය සමතුන් ඇතුලත් කරගන්නා සීමිත පාසල් කිහිපය වන බැවිනි. මේවා නොතිබෙන්නට ගම්පහ බොහෝමයක් සිසුන් කොළඹ හෝ කුරුණෑගල වෙත සංක්‍රමණය වනවා සිකුරු ය. දිස්ත්‍රික්කයක් වශයෙන් ගතහොත් ගම්පහ ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහණයක් සිටින දිස්ත්‍රික්කය වූවද නගරයක් වශයෙන් ගතහොත් ගම්පහ නිදහස්, කුඩා නගරයකි. එය කොළඹින් දහයෙන් පංගුවක්වත් නොවේ. එහෙත් එය ඉහත කියූ සුපිරි පාසල් කිහිපයට හිමිකම් කියයි. ගම්පහ බොහෝ පාසල් ඇත. එහෙත් ඇත්තේ එකම එක පිරිමි පාසලකි. ඒ වටා අතේ ඇඟිලි ගණනට බාලිකා පාසල් පිහිටා තිබීම ගම්පහ කොල්ලන්ගේ අභිමානයට කාරණාවකි. එබැවින් ඔවුහු තම සහෝදර බාලිකාවන් තම සහෝදරියන් මෙන් හරි අපූරුවට බලා ගනිති. ගම්පහ බොහෝ ටියුෂන් පන්ති පිහිටා තිබේ. ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල අසල ඇත්තේ සමාධි ආයතනයයි. සමාධි කියූ විට අපිට මතකයට එන්නේ තලපතා ය. ඒ සිසුන් ගැන ඔහුට ඇති මානව ප්‍රේමය හේතුවෙනි. කාලයක් ලපයා සිසුන් අතර ජනප්‍රිය වූයේ ලොකු ලයින් හේතුවෙනි. ඊට අමතරව කම්මුලේ තිබූ ලපය ද ඊට හෙතු විය. එකල සිසිජි ආයතනයේ ඒසී තිබුණේ නැති වූවත් එය ඉතා ඉහල සොබා සෞන්දර්යයක් තිබූ ස්ථානයකි. ඉතා ඉහල වැසිකිලි පහසුකම් නිසාවෙන් විවේකය වේලාවේදී කෙල්ලෝ කෙසේ වෙතත් කොල්ලෝ පවා පෝලිම් දහයකට සෑදී වැසිකිලි යති. අපි උණුසුම් ඇමෝනියා හා හයිඩ්‍රජන් සල්ෆයිඩ් සුවඳට හොඳින්ම හුරු වූයේ මේ කාලයේදී ය. වයස 40 ඉක්මවා ගිය සිසිජි ආයතනයේ සේවය කල කොල්ලන් හා සුහදශීලී වූ අයියා කෙනෙක් අපිට මතක ය. කණගාටුවට කාරණාව වූයේ ඔහු මෑතකදී මිය ගිය බව අසන්නට ලැබීමයි. විවේකය වේලාවේ අපි ආහාරයට ගත්තේ ගෙදරින් ගෙනා බත් වූවත් හිත පිරෙන්නට කෑ ෂන්මුගාස් අල පරාටා, තෝසේ සමග ලැබෙන මිරිස් හොදි වල සුවඳටත් අපි එකල බොහෝ ප්‍රේම කලෙමු.
                                                                
Related image
http://www.panoramio.com/user/7587236

නැණික් ආයතන දෙකක් මොන්ටානා පාරේ තිබුණා මතක ය. එකක් පාරට හැරෙන තැනම වම් පස තිබූ අතර අනෙක සොයා ගැනීමට ගම් දනව්, ගංගා, රාජධානි පසුකර පාරේ කෙලවරටම යා යුතු ය. මේ කියනා ගංගාවේ කිසිවෙක් නෑමට නොයයි. ඒ එය කුණු ඇලක් නිසාවෙනි. අළුතින් ඉදිකෙරුණු යහන්සා හමුවෙනවාත් සමඟම වම් පස ඇත්තේ මහ නැණික් ය. කාලයක් අපි පිසික්ස් ක්ලාස් ගියේ නැණික් වලට ය. දරුණු වර්ෂාවකදී ගංවතුරෙන් බේරෙන්නේ එහි ඉහල මාලය පමණි. ගංවතුරට හසුව නිරතුරුව ඩෙස් බංකු ගසාගෙන යන බැවින් නැණික් හා මොන්ටානා ශාලා වල ඇති බංකු වලට අළුතින් බංකු හා ඩෙස් එකතු වේ. බහුතරයක් ඩෙස් බංකු සාදනු ලබන්නේ ඉස්තරම් අඹ ලීයෙනි. එබැවින් අළුත් බංකු වල නැවුම් අඹ සුවඳක් හා මැලියම් ගතියක් ඇත. මුල් කාලයේදී ඩෙස් එකක් අඟල් අටක් හා බංකුවක් අඟල් දහයකි. කාලයත් සමඟ මේවායේ අඟල් ගණන වැඩි වූයේ ශාලා හිමි අයියලා උගත් ටියුෂන් පන්ති ගුරුවරුන් බවට පත්වීමත් සමඟ ය. එහෙත් රත් වූ ටකරම යට අඟල් අටේ ඩෙස් දෙකක් මත දිග හැරුණු බත් පතක් හත් අට දෙනෙක් වටවී කෑමේ ආනිසංස බොහෝ විය. එකක් විවේකයෙන් පසු කොල්ලන් පන්තියෙන් යාම ය. අනෙක නිදා ගැනීම ය. පිරිසක් පන්තියට එන්නේ දහයට ය. එය ටික්කාට හසු නොවෙන ලෙස කිරීම වික්‍රමාන්විත වැඩක් ලෙස ඔවුහු අදහමින් සිටියෝ ය. අපි දන්නා කාලයේ කෙමිස්ට්‍රි රිවිෂන් එකේ වැඩිම ලකුණු තිබුණු එකා හිටියේ හැමදාමත් පන්තියේ පිටිපස්සේම පේලියේ ය. "බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේලි වලිනි" යැයි යන නාඩි වාක්‍ය සනාත කලේ ඌ ය. එබැවින් ඌ ගැන අපිට තිබුණේ ගෞරවාන්විත ප්‍රතිරූපයකි. එමෙන්ම පිටුපස පේලියේම සිට ත්‍යාග ලැබීමට ඉදිරියට පැමිණීමේදී ඌ ලැබූ ස්වයංවින්දනය ගැන ඌට මාරම ආතල් එකක් තිබුණි. සංයුක්ත ගණිතය ගැන අපි මුල්ම අත්දැකීම ලැබුවේ විද්‍යාරවින්දයෙනි. ඒ ගියේ සංයුක්ත ගණිතය ඉගෙනීමට නොව පදනම් පාඨමාලාව හැදෑරීමට ය. එබැවින් සංයුක්ත ගණිතය යනු කුමක් දැයි අපිට දැනගැනීමට ඒ මාසයක කාලය ප්‍රමාණවත් නොවී ය. සියාරා යනු දැවැන්ත ශාලාවකි. ඒ කාලයේ සියාරා අතුරු සිදුරු නැතිව පිරෙන තරමට ඉගැන්වූ සංයුක්ත ගණිත ගුරුවරයෙක් විය. කාලයත් සමඟ සිසුන් ප්‍රමාණය අඩු වී ගිය අතර දැන් සියාරා යනුවෙන් එවැනි ශාලාවක් සොයා ගැනීමටවත් නොමැත. වැස්සට වහල හුලඟේ ගසාගෙන යන තරමේ වායුසමීකරණ පහසුකම් සියාරා සතු විය. මහා වැසි දිනක පැයක කාලයක් පුරා පන්තිය නවතා තිබුණේ ටකරන් තෙමෙන හඬට කියන දේ නොඇසෙන බැවිනි. කොල්ලෝ එදා සිය ගණනක් රොකට් යැව්වෝය. ඒ කෙල්ලන්ට වදින්නට ය. අපි ඒ තරමටම ඒ කාලයේ කෙල්ලන්ට ආදරේ කලෙමු. පිලිතුරු රොකට් ගණනාවක් ආපසු ලැබුණු බැවින් එවැනි දින අපි හැඳින්වූයේ වැලන්ටයින් දින ලෙස ය. වැසි දින වල අළුතින් කෙල්ලන් සෙට් කර ගැනීම පහසු ය. එකල වැස්සෙන් තෙමුණු කොල්ලන් ගැන අමුතු සංවේදී බවක් කෙල්ලන්ටත්, කුඩ ඉහලාගෙන යන කෙල්ලන් ගැන විශේෂ ආකර්ෂණයක් කොල්ලන්ටත් තිබුණි. රොකට් සෙල්ලම නැවතුණේම නැත. අවසානයේ ගුරා ශාලාව මැදින් සිනහමුසු මුහුණින් ඇවිද ගොස් බෝඩ් එකේ යමක් ලිව්වේ ය. "රොකට් යවන්න එපා" යන වැකිය පේනවද යැයි කියා ඇසූ විට පිටිමපස්සේ සිටි එවුන් "ඈ!" කිව්වා අදටත් හොඳට මතක ය. උන්ට ඇහෙන්නේද නැත, පෙනෙන්නේද නැත. තවත් දිනෙක ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර එක්දින තරඟයක් ලයිව් ස්කොර් බැලුවා මතකයට නැගේ. පන්දුවෙන් පන්දුවට ස්කෝර් එක කීමට එකෙක් හා කමෙන්ට්‍රිය කීමට තවත් එකෙක් සිටියේය. එයත් සිදුවුණේ සියාරා ශාලාවේදී ය. අපේ දිශාවෙන් ශබ්දය වැඩිවූ බැවින් ගුරා නොසන්සුන් විය. අවසානයේදී කීවේ එක දෙයකි, "මේ ගම්පහ පන්තියේ වැඩි හරියක් ඉන්නේ කාලකණ්නි".  එහෙත් දැන් බලන විට ගුරා තියා පල්ලිය පාර අසල අපි ගියපු සියාරා ශාලාව වත් දකින්නට නැත.

Related image
https://www.youtube.com/watch?v=SoFvDMGCjcE

සංයුක්ත ගණිත පන්ති වල තිබුණේ විෂයේ ආතල් වලට වඩා පුද්ගල බද්ධ ආතල් ය. රිවිෂන් තිබුණේ සමාධියේ ය. මතක ලෙසට ඒ 2013 විය යුතු ය. ගුරා පැමිණ අමුතු නමක් තියෙන ගෑණු ලමයෙක් හම්බෙන්ඩ ගෙදරින් ඇවිල්ලා යැයි කියා කෙල්ලගේ නම බෝඩ් එකේ ලියුවේය, "නිම්නාදි". හිනා හඬ මැදින් කෙල්ලන් දෙදෙනෙක් නැගිට ගියෝය. එකියක් බැරල් ය. ඒකි නිම්නාදි නොවේ යැයි අපි තර්ක කලෙමු. අනෙක් හුරුබුහුටි කෙල්ල නිම්නාදි විය යුතු වූවත් ගුරා ඇගේ නම බෝඩ් එකේ ලිව්වේ වැරදියට බව අපි දැනගත්තේ පසු කලෙක කැම්පස් ගිය අපේම සොයුරන් හරහා ය. අප දන්නා තරමින් ඇය දැන් සිටින්නේ කොළඹ සරසවියේ විය යුතුය. ඒ නම "නිම්නාදි" නොව "ගීනදී"ය. කාලෙකට කලින් අපි හොඳින් දන්නා සෙට් එකක් වූයේ කපුරු බෝල සෙට් එකයි. කොල්ලන්ගේ ටොයිලට් වලට මැජික් බෝල තරම් කපුරු බෝල දමන්නේ සුගන්ධිකාය සඳහා ය. එකල ටොයිලට් වල තිබුණේ ඇමෝනියා සුවඳ හා කහපාට හා ළා කොලපාට සෙල්ලම් ලැම්බෝගිනි කාර් ය. බේසම් වල බහා තිබෙන ලැම්බෝගිනි කාර් ගැන මතක් කරමින් ඉන්ටෙර්වල් එකේ බත් කෑවේ අපේ උන්ගේ ආහාර රුචිය වර්ධනය කිරීමේ පහන් චේතනාවෙනි. එහෙත් එය පරිප්පු හොදි සමඟ සමපාත වීම සමහර අවස්ථාවලදී ගැටළුකාරී විය. කපුරු බෝලය එලියට එන්නේ මේ කාලයේදී ය. හෑන්ඩ් බිලකින් අල්ලා ප්‍රවේශමෙන් මුත්‍රා බේසමෙන් එලියට ගන්නා කපුරු බෝලය ඊලඟට යන්නේ සෙට් එකේ එකෙක්ගේ සාක්කුවටයි. එතනින් එලියට එන බෝලය එකෙක්ගේ බෑග් එකට යයි, ටී ෂර්ට් එක අස්සට යයි. පාර පුරා ඒ ආතල් එක ගන්නේ හුදෙක්ම කපුරු බෝලයෙන් වහනය වන සිල් සුවඳට උන් ඒ තරම්ම කැමැති නිසා ය. උන්ගේ අප්‍රමාණ තාඩන පීඩන හමුවේ නොසැලෙමින් කපුරු බෝලය සෑම කොල්ලෙක්ටම එක සේ සිල් සුවඳ විහිදුවයි. එය උන්ට එකල උපේක්ෂාවක්ම විය. එදා සිට උන් කපුරු බෝල සෙට් එක ලෙස අපි සමාජගත කලෙමු. තියරි පිසික්ස් ක්ලාස් ආරම්භයේදී පන්සිල් සමාදන් වීම සෑම දිනකම සිරිතයි. රිවිෂන් ක්ලාස් වල පන්සිල් ගන්නේ නැත. මක් නිසාද යත් ඒවායේ සිටින්නේ පන්සිල් රකින උන් බැවිනි. සිල් බිඳුණු උන්ට බොහෝ විට පසුව රිවිෂන් ඒමට සිදුවේ. ක්ලාස් අවසානයේදී ද තෙලිඟු වැනි භාෂාවකින් ගාථාවක් සජ්ජායනය කරනු ලැබේ. මෙම ක්‍රියාන්විතය සෑම ක්ලාස් එකකම සිදු නොවේ. රසායන විද්‍යාව එහෙමත් නැත්නම් කෙමිස්ට්‍රි ක්ලාස් විනෝදයෙන්ම ගත කලේ රිවිෂන් ක්ලාස් වල ය. එයද කොල්ලන් එවන චිට් කියවීමේදී පමණි. තියරි කෙමිස්ට්‍රි ක්ලාස් සුන්දර වන්නේ පළමු පාඩමේදී පමණි. කෙමිකල් පිස්සන්, රසායන විද්‍යාඥයන්, පරමාණුක භෞතික විද්‍යාඥයන්, රසායන ඉංජිනේරුවන් බුරුතු පිටින් බිහි වන්නේ කෙමිස්ට්‍රි වල පළමු පාඩමෙනි. එලෙස බිහිවූ එකෙක් අද මෘදුකාංග ඉංජිනේරුවෙකි, අනිත් එවුන් ආගිය අතක් හොයාගන්නට නැත. මුල් කාලයේදී බොහෝමයක් කෙමිස්ට්‍රි වලට පිස්සු වැටී සිටි එවුන් අවසානයේදී උසස් පෙල කලේ අයිටී ය. බොක්කෙන්ම කෙමිස්ට්‍රි කල බහුතරයක් එවුන් සම්මත මිනිස් ස්වභාවය ඉක්මවා ගොස් සිටී.

Image result for old facebook layout
http://www.girlyana.com/tag/how-to-get-the-old-facebook-layout/

ගම්පහ යනු ඉතා තද වැසි වලදී යටවන නගරයකි. එය තදටම බලපාන්නේ, ජා ඇල මාර්ග පිවිසුම අසලට හා මොන්ටානා ශාලා පරිශ්‍රයට යි. ජ ඇල බස් නැවතුම යටවූ විට දින දෙක තුනක් දක්වා ටියුෂන් ක්ලාස් නැවැත්වීමට සිදුවේ. කලකට පෙර (මතක විදිහට 2009දි ) මහා වැසි දිනක පල්ලිය පාරෙන් එද්දී කොළඹ පාරේ දණහිස තෙක් වතුර ය. සුදු දිග කලිසම් ඇඳි අළුත වූවද සපත්තු පිටින් අපි වතුරට බැස්සෙමු. කොළඹ පාර අවසාන වතාවට ඒ තරම් ජලයෙන් පිරී තිබෙනු දුටුවේ එදා ය. ඒ යුද්ධය අවසන් වීමට පෙර විය යුතුය. කිසිසේත්ම මේ කාලයේදී රෝහල් වටරවුමේ සිට ගම්පහට ඒමට බස් වල නොයන්නේ අතේ සල්ලි නැති නිසා නොව සීඩී, ඩීවීඩී, මවුස්, කීබෝඩ්, යූඑස්බී කේබල් එකේ සිට කඩ චෝරුව දක්වා වියදම් කරන්නේ මේ පොකට් මනි නිසා ය. මීට අවුරුදු දහයකට දොළහකට කලින් ගම්පහ කොල්ලන් ඉන්ටර්නෙට් කැෆේ ගියේ ගේම් ගැසීමට හෝ වැල බෑමට ය. දැන් මෙන් නිවෙස් වල ඉන්ටර්නෙට් එදා තිබුණේ නැති අතර මුල් කාලයේ අපි ෆේස්බුක් ගියේ පවා මාස දෙක තුනකට සැරයකි. කවර් පොටෝ එක ඒමට හා ප්‍රොෆයිල් පොටෝ එක හරි හතරැස් වීමට පෙර එයට තිබුණේ 3:5 අනුපාතයේ ප්‍රොෆයිල් පික්චර් එකකි. එය බුකියෙන් ස්වංක්‍රීයව සකස් කර දෙන්නේ නැති අතර අපි අදාල ඩයිමෙන්ශන් වලට ගැලපෙන බුකි පොටෝවක් දැමිය යුතු විය. නැතිනම් පොටෝ එක දැමූ විට ඇස් කන් ඉවත් වීමට පුළුවන. දන්නා කියන උන් බහුතරයක් ෆේස්බුක් නොසිටි මේ කාලයේදී, දැන් කියන්ඩ විලිලැජ්ජා වුණත් අපි බුකියට ආවේ පොටෝස් සේව් කරන්නට ය. එහෙත් ඒවා එකිනෙකා සමඟ හුවමාරු වන බවක් අපි දන්නේ නැත.  චැට් කරනවා යැයි දැන සිටියේ කමෙන්ට් වලට රිප්ලයි කිරීම ය. ඉස්කෝලේ උන්ම චැට් එකෙන් කතා කල විට ය දැනගත්තේ චැට් කියා එකක් ඇති බව. දැන් අපි එයට කියන්නේ මැසෙන්ජර් කියා ය. ලයික්, කමෙන්ට්, උපන්දින සුබ පැතුම් කොතරම් ආවත් බුකිය ඇත්තේ එවැනි දේ වලට යැයි අපි දැන සිටියේ නැත. තට්ටයා පවත්වාගෙන ගිය කැෆේ එකේ තිබුණේ උබුන්ටු ය. එබැවින් ඒවායේ වයිරස් තිබුණේ නැත. ඩවුන්ලෝඩ් සඳහා මසුරන් ය. පසු කාලයේ ඒලෙවල් ක්ලාස් කට් කර ආවේ ඊසෝන් වෙත ය. එය මෑතක් වන තුරුම පැවතුණා මතක ය. ගම්පහ ඉන්ටර්නෙට් කැෆේ තිබුණේ සණස අයිඩියල්, කොළඹ බස්ටෑන්ඩ්, ජා ඇල බස්ටෑන්ඩ් යන ස්ථාන වල වූවත් පොඩි පොඩි එව්වා ඕනේ තරම් 2006-2010 කාලයේ තිබුණේය. 2005 අවසාන සමාසිකයේ පාසල් සිසුන් සඳහා නොමිලේ බස් වාර ප්‍රවේශ පත්‍ර ලබා දීමේ වැඩසටහනක් ඇරඹිණි. යක්කල පාරේ සිට ගම්පහ සහ යක්කල දෙසට කොල්ලන් සිටීබී බස් වලට පොරකන්නට පටන් ගත්තේ මේ කාලයේදී ය. සිටීබී යැයි සිතා ප්‍රයිවට් වලට ගොඩ වූ විට සිතට දැනෙන්නේ ඉමහත් ප්‍රීතියකි. කඩා දැමුණු පැරණි කොළඹ බස් නැවතුම්පලේ දැල් කූඩුවක සිට සීසන් ටිකට් නිකුත් කෙරිණි. 1.30ට පාසැල් ඇරුණු මොහොතේ සිට 2.30 වනතෙක් කරන්නේ ගම්පහ රවුම් ගැසීමයි, ඒ දහවල් ආහාර ගැන පවා නොතකමිනි. 2.30ට සිටීබීයක් එන බැවින් එතෙක් සිත් සේ ගම්පහ පුරා ඇවිදීම එකල උමතුවක් වී තිබුණි. එකල ගම්පහ අඹ සෙවණ බොහෝ ප්‍රසිද්ධ වූයේ ගම්පහ පුරා සිසුන් සාධු චර්යාව උදෙසා එහි පැමිණි නිසාවෙනි. අදටත් ගම්පහ තරම් සාධු චර්යාවේ නිරත වන සිසුන් ලංකාවේ වෙනත් කිසිදු නගරයක නැත.

දැන් තත්ත්වය කෙසේ වූවත් ඉස්සර අයියලා අක්කලා ලව් කරේ මිතුරු සබඳතා ඔස්සේ හොඳින්ම දැන හඳුනාගෙන වන අතර දැන් මෙන් යාළු වූ අළුත කුක්කු ඉල්ලීමට එකල වට්ස් ඇප්, වයිබර්, ඉමෝ, මැසෙන්ජර් වීඩියෝ කෝල් එකල තිබුණේ නැත. ලියුම් දී කෙල්ලන් සෙට් කර ගත් අවසාන පරපුර උන් විය යුතු යැයි සිතේ. සැඟවී, ටිකෙන් ටික දවස් ගානකට සැරයක් හමුවී කරන පාසල් ප්‍රේමය දැනට වඩා සුන්දර යැයි අපිට දැන් සිතෙන්නේ අද සෝෂල් නෙට්වර්ක් හරහා ලොකු පොඩ්ඩන් කරන සීරියස් ලව් දකිනා විට ය. කුඩා කල කෙල්ලන් පස්සෙන් යාමට වඩා අපි ප්‍රිය කලේ කෙල්ලන් පස්සෙන් යන එවුන් පස්සෙන් යාමට හා චීත්ත වෙනුවෙන් ඇදෙන වලි බැලීමට ය. ඉඳහිට හෝ බස් එකේදී බාලිකා කෙල්ලන් පස් හය දෙනෙක්ට මැදි වූ විට ඇඟ හිරිවැටී ගොස් කලන්තෙට එන ගතියක් තිබුණු කාලයක් තිබුණා මතක ය. කොල්ලන් සමඟ ඇති වූ බොහෝ වලි වලට හේතු වන්නේ ආත්මාභිමානය සම්බන්ධ වලි ය. නැතිනම් පන්තියේ අනිත් එවුන් ෆෝම් කිරීමෙන් දුරදිග යන ඒවා ය. වලි බැලීම තරම් මේ කාලයේ උන්ට තවත් ආතල් එකක් නැත. එය පසුකාලීනව රෙස්ට්ලින් මැච් බැලීම තෙක් පරිණාමය වූ බව සැලකිල්ලට ගත යුතු කාරණාවකි. එහෙත් අපි එකල ආශාවෙන් බැලුවේ හයි ස්කූල් මියුසිකල් ශෝ ය. කෙසේ වූවත් නිල් වෙන තෙක් ගහගත් එවුන් පසු කාලයේදී හොඳම පාසල් මිතුරන් වෙන බව සාක්ෂි සහිතව ඔප්පු කල හැකිය. එහෙත් දැන් සිටින ලොකු පොඩ්ඩන් හා නිගාවරුන් රණ්ඩු වෙන්නේ ඔවුනොවුන්ගේ පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් වන බැවින් පාසල් ගුරුවරුන් විශේෂයෙන් මෙම නිගාවරුන් ගැන අවධානය යොමුකල යුතුය.

දැන් ගම්පහ කොල්ලන් හා කෙල්ලන් බොහෝ විට ලව් කරන්නේ මල් වත්තේ හා ගුවන් පාලම් පිවිසුම් මාර්ගයේ දෙපස ය. එහෙත් නිකමට හෝ පෙම් යුවලවල් දකින පොලිස් බල්ලන් මෙම යෞවනයන්ට සද්ද දමමින් එලවා දමනවා අපි දුටුවද ගම්පහ ඇති මහා බඩු පොට් ගැන පොලීසියට වගේ වගක් නැත. හෙට අනිද්දා වැලන්ටයින් එන බැවින් එදිනට ගම්පහ කපල් වල සාධු චර්යාව හදිසියේම සාපේක්ෂව ඉහල අගයකට පත්වේ. සරුංගල් යැවීමේ මහා සැණකෙලිය වර්ෂයකට වතාවක් පැවැත්වෙන්නේ මෙම වෙල් යාය ආශ්‍රිත මාර්ගයේ ය. එදින සවස් වන විට අමෘතය පානය කල දේව දූතයන් විසින් පාරේ යන බස් හා ඇවිදගෙන යන මිනිසුන්ට ඇසෙන ලෙස මහා හඬින් පිරිත් සජ්ජායනය කරනු ලබයි. බස් වල තෙරපී සිටින, හෙම්බත් වූ මිනිසුන් හා දෙපස පාරේ ඇවිද යන මිනිසුන් එම හඬ අසා හීන් හඬින් සාධුකාර දෙනවා අපි අසා ඇත්තෙමු. සරුංගල් යැවීමට වඩා එදාට එතැන වෙනම ආතල් ගොඩක් ඇත. එකක් අපි කියූ දේවදූතයන්ගේ වීණා වාදනයයි. අනෙක ගම්පහ පුරා සිටින දෙවඟනන්ගේ සම්ප්‍රාප්තියයි. එබැවින් එදාට සරුංගල් පටලවාගෙන ගොඩ යන උන් ඕනෑතරම් සිටියි.



ගම්පහ යනු ලංකාවේ ප්‍රධානතම දුම්රිය හුවමාරුවකි. කොටුව හා මරදානට පසු වැඩිම මගීන් ප්‍රමාණයක් හුවමාරු වන්නේ ගම්පහින් බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණාවකි. එය දුම්රිය වර්ජනයක් ඇතිවූ දිනක ගම්පහ පැරණි මගී පාලම උඩට ගොඩ වූ විට හොඳින්ම සනාථ කරගත හැකිය. දුර ගමන් සේවා යන බොහොමයක් නගරාන්තර දුම්රිය වලට පවා ගම්පහ නැවතුම්පොලක් වන්නේ මෙම අධික මගී හුවමාරුව නිසාවෙනි. එබැවින් ගම්පහ දුම්රිය ස්ථානයට යන ඕනෑම වෙලාවක ඉතා අඩු කාලයක් ඇතුලත ට්‍රේන් එකකට ගොඩ විය හැකිය. සෑම මසක් ආරම්භයේදීම උදෑසනට හා රාත්‍රියට ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට අති විශාල මගී පෝලිම් දකින්නට ලැබෙන්නේ සීසන් ගැනීමට ය. එබැවින් සවස කාර්යාල දුම්රියක එන එකෙකුට ඉක්මනින්ම සීසන් ගැනීමට නම් රේල් පාරට පැන පලවෙනි වේදිකාවට ගොඩවී කවුන්ටරය වෙත දිවීමට සිදුවේ. එහෙත් ඒ අනෙක් පසින් කොළඹ දක්වා යන දුම්රියක් නොපැමිණෙන්නේනම් පමණි. උදෑසනට කාර්යාල දුම්රිය බොහෝ ප්‍රමාණයක් ධාවනය වන බැවින් එම අවස්ථාවේදී රේල් ගේට්ටුවට එපිටින් ස්කූල් බසයක් හිර වුණොත් 7.30 පසුවන තෙක්ම උන් ඉස්කෝලෙට යෑම සිහිනයකි. ඒ කාලයේ එහෙම වූ දින කිහිපයක් තිබුණා යන්තමින් මතක ය. එවැනි දින වලට බස් "ඩයිවර්" ගුවන් පාලම ඔස්සේ රේල් පාරෙන් එහාට නොයෑම ගැන අපිට මහත් සතුටක් උපදී. ඒ උදෑසන ආගමික වතාවත්, නිවේදන හා පන්ති අතු ගෑම යන සියල්ල අහෝසි වන නිසාය. එවැනි දින වල හේතු කීමට පෙර කෝච්චියේ හුලං ගියා වැනි සාධාරණ හේතූන් පන්තියේ උන් අතරින් මතුවෙයි. 2013 මුල් කාලයේ ක්ලාස් යන විට මහා සුලි සුළඟක් හමා ගස් කඩා වැටී මාර්ග අවහිර විය. එදා ක්ලාස් එකේ සෙට් එකකටම හුලං හැමීම නිසා ක්ලාස් ඒමට නොහැකි විය. තවත් එකෙක් හුලං බැලීම නිසා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කෙරිණි. ඒ හුලං බැලීමට ගොසින් යැයි අපිට දැනගන්නට ලැබිණි. හුලං හැමූ උන්ට සීරීම් තුවාලයක්වත් තිබුණේ නැති නමුත් හුලං බැලූ එකාගේ ඇඟ පුරා සිරීම් තුවාල ය. ඌ බලා තිබුණේ පැදගෙන යන ගමන්ම බයිසිකලයේ හුලං ය.


- පුරවර ප්‍රවාද සියනෑ පුරය තෙක්, ගම්පහ අපි! -

No comments:

Post a Comment

නිදහසේ ශිල්පය ගැන තෙල් කතාවක්..! A story of unity & love, for new state university candidates and freshers

Location - Department of Mathematics, University of Colombo මේක අළුත් බලාපොරොත්තු දළුලන කාලයක්. එක පැත්තකින් 2018 අවුරුද්දෙ උසස් පෙළ ව...