Sunday, December 24, 2017

සරසවිය, නවක අනුරූපණය හා බුද්ධි භාවිතාව Cruidity based ragging of state universities of Sri Lanka



ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ආරම්භ වන්නේ 1978 වසරේ දී සිදුවූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක වූ රාජ්‍ය විශ්වවිද්යාල පනත ඔස්සේ ය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල අධ්‍යයන ආයතන සංඛ්‍යාව 14කි. මෑත කාලයේදී (2005 වසරේදී) ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට එක්වූ අතර නාවල විවෘත විශ්වවිද්‍යාලය ද සමඟ විශ්වවිද්‍යාල, මණ්ඩප, සෞන්දර්‍ය කලා හා ඇකඩමි ආයතන සංඛ්‍යාව 15කි. ඒ අතරින් පැරණිතම විශ්වවිද්‍යාල ලෙස කොළඹ හා පේරාදෙණිය සැලකේ. 1870 වසරේ දී කොළඹ වෛද්‍ය පීඨයත්, 1921 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයත්, 1942 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් ආරම්භ කරන ලදී. මීට අමතරව 1875 වසරේදී විද්‍යාලංකාර පිරිවෙන ලෙස ආරම්භ වන කැලණිය විශ්වවිද්‍යාලයත්, 1873 වසරේදී විද්‍යෝදය පිරිවෙන ලෙස ආරම්භ වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් 1959 වසරේදී විද්‍යාලංකාර හා විද්‍යෝදය විශ්වවිද්‍යාල ලෙස ස්ථාපිත කරනු ලබන අතර එය 1978න් පසුව කැලණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල බවට පත්වේ. මේ සියළු තොරතුරු අනුව පෙනී යන්නේ මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා උපසංස්කෘතිය අපිට කිසිසේත්ම නුහුරු නුපුරුදු සමාජ ඛණ්ඩයක් නොවන බවයි. එසේ වූවද සදහටම විවේචන වලට ලක්වන තරුණ පරපුරේ පොදු සමාජ ඒකරාශී වීම විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ අංගයක් ලෙස අනිවාර්යයන්ම ඉස්මතු වන බව අපි මෙතුවක් කාලයකට සැලකිල්ලට ලක් නොකරා වූ කාරණාවකි. සරසවිය හා බැඳුණු කලාව, සාහිත්‍යය, ආදරය, මිතුරුකම්, සම්ප්‍රදාය අනාගතයට සම්ප්‍රේෂණය කරන්නා වූ මාධ්‍යය උප සංස්කෘතියම බව කිව යුතුය. එය ක්‍රියාත්මක කරන සමාජ වාහක පිරිස වන්නේ සරසවි ශිෂ්‍ය ප්‍රජාව යි. කලකට ඉහතදී සමාජයට බොහෝ සෙයින් නිරාවරණය නොවී පැවති සරසවි උප සංස්කෘතිය පසු කාලීනව මෙරට මෙන්ම ගෝලීය වශයෙන්ද සිදුවූ සමාජ ඒකරාශී වීම් ඔස්සේ (සමාජ ජාල හා මිතුරු හවුල්) සමාජයට ලබාදෙන්නේ යහපත් ප්‍රතිරූපයක් නම් නොවේය. මක් නිසාද යත් සමාජ රටාව පවා සකස් වී ඇත්තේ බොහෝ සැහැසිකම්, කුරුරුකම්, කුහකකම්, පාදඩ හයිනා ක්‍රියාකාරකම් ඔස්සේ නිරුපද්‍රිතව ජීවත්වීමට වෙර දරනා මහජනතාවකිනි. අපි එයින් කීමට අදහස් කලේ හුදෙක්ම බොහෝ පිරිසක් සරසවි ශිෂ්‍ය ප්‍රජාව හා ඔවුන්ගේ ඇතැම් සම්ප්‍රදායයන් සම්බන්ධයෙන් දක්වන්නේ යහපත් ආකල්පයක් නොවන බව කියා පෑමටය. කවුරුන් කෙසේ කීවද සරසවි ව්‍යුහය තරම් ස්වකීය නිදහසට නිවැරදි ආකල්ප ඇති කරවන වෙනත් සමාජ කොට්ඨාශයක් නොමැති බව කිව යුතුය. එය බොහෝ දෙනෙක් පිළිගැනීමට මැලි වූවද සත්‍යය එයයි.



එහෙත් සරසවි සම්ප්‍රදායේ කිසියම් අඳුරු ක්‍රියා පටිපාටියක් මෑත කාලීනව ආරම්භ වෙමින් පවත්නා බව දැන් දැන් පෙනෙන්නට තිබේ. දින කිහිපයකට පෙර සරසවි නවක වදය සම්බන්ධ සිද්ධියක් වාර්තා විමත් සමඟම මෙලෙස ආසන්න වසර කිහිපය තුල දී අපට අසන්නට ලැබුණු පුවත් වල සමාජ විවේචනයට වඩා යමක් ඇති බව කණගාටුවෙන් වූවද කීමට සිදුවේ. රටක සමාජ ක්‍රමයක් සකස් වන්නේ එක් විශේෂීකරණ ක්‍රියාවලියකටයි. එනම් උපදින සියළු මනුශ්‍යයින්ට මෙන්ම සත්ත්ව ප්‍රජාවටද ගැටුම් හා ගැටළු අවම වන ආකාරයේ භාවිතාවක් ඇති කිරීමටයි. එය විශේෂයෙන්ම ශාක හා සත්ත්ව ද්විත්වයම ලෙස සඳහන් විය යුතුය. මෙලෙස සකස් වෙන සමාජ ක්‍රමය අපි සරලව සංස්කෘතිය ලෙස සැලකුවහොත් අපි කතාකරමින් ඉන්නා උප සංස්කෘතිය අනිවාර්යයෙන්ම ප්‍රධාන සංස්කෘතියට පෑහෙන පරිදි සංස්කෘතික ක්‍රියාවලියක් විය යුතු බව දත යුතුය. එය උප සංස්කෘතික අංගයක් වන "නවක වදය"ට වූවද වෙනසක් නොවේ. අපි එයට නවක වදය කීවද ඌන සම්මත වශයෙන් එය රැග් එක, තෙල, වාත කිරීම යැයි කියවේ. එය කිසිසේත්ම වදයක් ලෙස සඳහන් නොවේ. හුදෙක්ම මෙය සමාජය වටහාගෙන ඇත්තේ "වදයක්" ලෙස වූවද සැබෑ ලෙසම එය "නවක අනුරූපණය"යි. "වදය" හා "වධය" වචන දෙකකි (මා දන්නා තරමින්, මා වැරදිනම් නිවැරදි කරන්න ). දැන් එය වදය ලෙස නොව වධය ලෙස අර්ථ නිරූපණය කරගෙන ඇති බව පෙනෙන්නට තිබේ. රාජ්‍ය විශ්වවිද්‍යාල තුල මෙම නවක අනුරූපණය ක්‍රියාත්මක වෙන සත්‍ය සන්දර්භය බොහෝ දෙනෙක් හරි ආකාරයෙන් නොදන්නා බව ඔවුන් සමාජ ජාල, පුවත් වෙබ් අඩවි, පුවත් පත් ඔස්සේ සිදු කරන අදහස් දැක්වීම් වලින් ඉතා හොඳින්ම පෙනෙන්නට තිබේ. අපි එම වරද ඔබට පහදා දීමට කැමැත්තෙමු.



ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල යනු වෙනත් රාජ්‍ය ආයතන වලින් බොහෝ සෙයින්ම අපගමනය වූ ආයතන සමූහයකි. අපි එයට විශ්වවිද්‍යාල පද්ධතිය යැයි කියන්නේ ඒ නිසාය. විශ්වවිද්‍යාල සඳහා ශිෂ්‍යයින් තෝරා ගනු ලබන්නේ සලකනු ලබන එක් වර්ෂයකදී උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සැලකිල්ලට ගෙන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසිනි. විශ්වවිද්‍යාල සඳහා තෝරා ගනු ලබන්නේ ඉහලම ඉසෙඩ් ලකුණු මට්ටමක් ලබාගන්නා ශිෂ්‍යයින්ව වේ. මේ හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුල් වීම සඳහා ඉතා ඉහල තරඟකාරීත්වයක් පවතී. එබැවින් උසස් පෙළ විභාගයට ශිෂ්‍යයා සූදානම් වන ප්‍රමාණය හා කැපවීම මෙන්ම ඇතැම් විට වාසනා ගුණය මත ද විශ්වවිද්‍යාල වරම් ලැබේ.



එහෙත් අපි මෙහිදී විශේෂිත කරුණක් ඉස්මතු කිරීමට කැමැත්තෙමු. උසස් පෙළ විභාග ප්‍රතිඵල මත එලෙස තෝරා ගැනෙන ශිෂ්‍යයින්ගේ ප්‍රවීණත්වය මනිනු ලබන්නේ එක් විශේෂීකරණ විෂය ක්ෂේත්‍රයක් ඔස්සේ පමණි. එබැවින් සාමාන්‍ය පොදු පරීක්ෂණය හරහා සුළු වශයෙන් හෝ මැන බැලෙන්නේ විෂය දැනුමෙන් හුදෙක්ම අපගමනය වූ සමාජ යෝග්‍යතාවයි. සමාජයේ පවත්නා ඇතැම් සැඟවෙමින් යන සමාජ ආචාර විධි, ආචාර ධර්ම, පුද්ගල වටිනාකම් හා මානුෂීය හැඟීම් යම් තරමකට හෝ පවත්වාගත යුතු වන්නේ විශ්වවිද්‍යාල විසිනි. ඒ ඔවුහු සමාජය ඉදිරියේ පරමාදර්ශී විය යුතු වනවා මෙන්ම සමාජ ශෝධනය කිරීමෙහිලා වගකීමක් දරන පිරිසක් වන හෙයිනි. මීට කාලයකට පෙර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් විසින් සරසවි උප සංස්කෘතිය ගොඩනගා ගනු ලබන්නේ උක්ත හේතු කාරණා ඉදිරියටත් පවත්වා ගැනීම සඳහා ය. එහෙත් උසස් පෙළ නිම කර විශ්වවිද්‍යාල සඳහා තෝරා ගැනෙන සිසුන්ගෙන් බහුතරයක් ආකල්පමය වශයෙන් මෙම කාරණාව තමාට අනුගත කරගෙන නැති බව කිව යුතුය. තමාගේ පාඩුවේ, තමා විශේෂ කොට රාමුවක් සකස් කර ගෙන උසස් පෙළ විභාගයට සූදානම් වන ශිෂ්‍යයා ඒ ආකල්ප වලින්ම විශ්වවිද්‍යාල පද්ධතියකට ඇතුලත් වූ විට ස්වකීය ආඥාව ම ඉදිරියටත් පවත්වා ගැනීමට මිසක කිසිවිටෙකත් සමූහ වශයෙන් කල්පනා කර ක්‍රියාත්මක වීමක් සිදු නොවේ. ඔවුහු සමූහයක් ලෙස විශ්වවිද්‍යාලය තුල ඒකරාශී විය යුතු වන්නේ ඇයි දැයි කීමට කැමැත්තෙමු. විශ්වවිද්‍යාල වලට ඇතුලත් වන්නේ එකම බුද්ධි මට්ටමේ, එකම දැනුම් මට්ටමේ ශිෂ්‍ය සමූහයක් නොවේ ය. එබැවින් ඔවුන්ගේ ආකල්ප, සහජ දක්ෂතා, නිර්මාණශීලීත්වය වැනි කාරණා මෙන්ම සමාජ මට්ටම පවා එකිනෙකට වෙනස් වේ. මෙයින් අදහස් වන්නේ ඔවුන් අතර කිසිසේත්ම තරඟයක් පැවැත්වීමෙහි විභවයක් ඇතිකිරීමෙහිලා අවශ්‍යතාවක් නැති බවයි. මෙය සරල ලෙසින් පෙණුනද සත්‍ය වශයෙන්ම සංකීර්ණ කාරණාවකි. ඊට හේතුව වන්නේ උපාධියක් ලබාගෙන සමාජ ගතවන පුද්ගලයා මානව හිතවාදී ආකල්ප වලින් තොර වූවහොත් සමාජයට සිදුවන අහිතකර බලපෑම සුළුපටු නොවන බැවිනි. එහෙත් බටහිර රටවල පවතින විශ්වවිද්‍යාල උප සංස්කෘතිය මෙතරම් බහුලව කතා බහට ලක් නොවේ. ඊට හේතුව ඔවුන්ගේ සමස්ත අධ්‍යාපනයම ඵලදායීතාව මූලික වී ගොඩනැගී  පැවතීමයි. එබැවින් ප්‍රකට සංස්කෘතියට, එම උප සංස්කෘතියට ඇඟිලි ගැසීමේ උවමනාවක් නොමැත. එහෙත් අපේ රටේ උපාධිධාරියා ඊට වෙනස් ය. ඔහුට ගණුදෙනු කිරීමට සිදුවන්නේ එවැනි මෘදු සමාජ පිළිවෙලක් සමඟ නොවන අතර එකිනෙකා එකිනෙකාගේත්, සියලුදෙනා දේශපාලනයේත් ගොදුරක් බවට පත් වූ සමාජයක් සමඟ ය. එබැවින් යම් මට්ටමකට හෝ මානව හිතවාදී ආකල්ප ඇති කිරීමෙහිලා විශ්වවිද්‍යාල වල නවක අනුරූපණය ක්‍රියාත්මක වීම හා උප සංස්කෘතියක් පවත්වා ගැනීම කල යුතුය. අපි පිළිගත්තද නොගත්තද එය ලොව පුරා ක්‍රියාත්මක වන ක්‍රමවේදයකි. වෙනසකට ඇත්තේ මෙරට නවක අනුරූපණය "නවක වදය" ලෙස සමාජයේ ඉස්මතු වීමය.



නවක අනුරූපණ ක්‍රියාවලියේදී සිදුවන්නේ සත්‍ය වශයෙන්ම නිවැරදි යැයි පිලිගත හැකි මට්ටමේ පවතින සම්ප්‍රදායයන්, ආචාර ධර්ම, ශිෂ්‍ය සංවිධානය හා අන්තර් පුද්ගල සම්බන්ධතා නවක ශිෂ්‍යයාට සම්ප්‍රේෂණය කිරීමයි. විශ්වවිද්‍යාල වල ජ්‍යෙෂ්ඨ සිසුන් නිර්මාණය වන්නේ යැයි ඔවුන් විශ්වාස කරන්නේ මෙම ක්‍රියාවලියේදී ය. මෙය හුදු සත්‍යයක් ලෙස පෙනෙන මිත්‍යා අදහසකි. එකම වයස් පරතරයක, එකම ජීවන අරගලයක යෙදී සිටින සරසවි ශිෂ්‍යයින්ට බොහෝ විට ඇත්තේ එකම ප්‍රශ්න සමුදායක්, එකම මට්ටමේ සමාජ අත්දැකීම් ප්‍රමාණයකි. කලාතුරකින් මෙම තත්ත්වය වෙනස් විය හැකි වූවද සම්මතයේදී ඔවුන් සියළු දෙනා පොරබදන්නේ එකම ආකාරයේ යොවුන් හැඟීම් කුලකයක් සමඟ බව අපි අත්දැකීමෙන්ම දන්නා කාරණාවකි. එබැවින් නූතනයේ විශ්වවිද්‍යාල වල ඇති ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ ශිෂ්‍ය භූමිකා වසරක හෝ දෙකක අත්දැකීම් මත නිර්මාණය වූවකි. තෙවන වතාවේදී උසස් පෙල විභාගය සමත්ව සරසවි වරම් ලබන නවකයෙක් හා එම වයසේම ජ්‍යෙෂ්ඨයෙක් අතර ඇත්තේ හුදෙක්ම අත්දැකීම් වල වෙනස්කමක් මිස පරතරයක් නොවේ. එය ජ්‍යෙෂ්ඨයා හා නවකයා යන දෙදෙනාම අවබෝධ කරගෙන සිටිය යුතුය. මක් නිසාද යත් නවකයා අභිමුව සිටින ජ්‍යෙෂ්ඨයා හෝ ජ්‍යෙෂ්ඨයා දකින නවකයා තමාට වඩා පෞරුෂවත් යැයි හැඟීමක් මේ දෙපාර්ශවය විසින්ම නූතනයේදී ඇතිකරගෙන තිබීමය. එය සහමුලින්ම වැරදි ආකල්පයක් බව මෙතෙක් වේලාවක් අප විසින් පැහැදිලි කරන ලද කාරණා වලින් දැන් ඔබට තේරුම් ගත හැකිය. නවක අනුරූපණයේදී බිය වැද්දීම්, බැන වැදීම්, ඇතැම් විට චරිත දූෂණ සිදුවන්නේ යැයි චෝදනාවක් එල්ල වන්නේ එය හරි ආකාරයෙන් ඉහත දෙපාර්ශවයේම පිරිස් අවබෝධ කරගෙන නොතිබීම නිසාය. යමක් පැහැදිලි කරවීමට යත්න දැරීම හා යටත් කරගැනීමට උත්සාහ දැරීම එකිනෙකට හාත්පසින්ම වෙනස් ය. එය නූතනයේ දී "චෝදනාවට ලක්වන" නවකයාට ත්, ජ්‍යෙෂ්ඨයාට ත් හරි හැටි තේරුම් නොගිය කාරණාවකි. එවිට සිදුවන්නේ සරල වශයෙන්ම කිවහොත් අනාගැනීමකි. බිය වැද්දීම්, බැන වැදීම්, චරිත දූෂණ යැයි පෙනෙන ක්‍රියා නවකයාට ලයාන්විත බවක්, ලෙන්ගතුව සිදුවන බවක් දැනීමට, එය සිදුකරන ජ්‍යෙෂ්ඨයා ට අධ්‍යාපනයක් තිබිය යුතුය. එය විභාග සමත් වී, වසරක් සරසවියේ සිට හෝ කවුරුන් හෝ කියන දෙයක් අසාගෙන සිට ලැබෙන අධ්‍යාපනයක් නොව ජීවිත කියවීමක් සමග ඉබේ හිමිවන පරිචයකි. සරලව පෞරුෂය යැයි කියන්නේ එයයි. තමා ඉදිරියේ සිටින නවකයා කවරෙක් දැයි හඳුනා ගැනීමේ නුවණක් නැතිව ගහන තෙල්, කරන වාත, දෙන රැග් හුදෙක්ම පුස් වෙඩිල්ලක් ම පමණකි. කෙටියෙන්ම කිවහොත් මිනිසුන් සමඟ කටයුතු කිරීමේ වටිනා රහස ජ්‍යෙෂ්ඨයා ත්, නවකයා ත් හොඳහැටි දැනගෙන තිබිය යුතුය. නවකයෙකු ලෙස ඔබ සරසවි එන්නේ ආතල් එකක්, වින්දනයක්, අලුතින් දෙයක් ඉගෙනීමට මිස හාත්පසින්ම වෙනස් පෞරුෂයක් ඇතිකරගැනීමට, සමාජ ආචාර ධර්ම අළුතින්ම ඉගෙනීමට නම් ඔබත් ඔබ ඉදිරියේ සිටින ජ්‍යෙෂ්ඨයාත් කරන්නේ කුමක් දැයි නැවතත් විමසා බැලිය යුතුය. ඔබ ඉදිරියේ සිටින්නේ පිඹිමින් උඩ පනින කුළු හරකෙකු නම් ඔබට ඔහුගෙන් සංජානනය විය හැකි දැයි කියා ඔබ කල්පනා කල යුතුය. එලෙසම ඔබ අභිමුව සිටින නවකයා ඔබ කියනා දේ තේරුම් ගන්නවා දැයි බැලීමට විචාර බුද්ධියක් තිබිය යුතුය. එහෙත් දැන් බොහෝ සෙයින්ම සිදුවන්නේ උප සංස්කෘතිය කට පාඩම් කිරීමය. උසස් පෙළ කාලයේ සිදු කල දෙයම ඔවුන් නැවතත්, නැවත නැවතත් කරමින් සිටීම ගැන ඔවුනට නිනව්වක් නැත. කිසිවක් ආකල්ප ලෙස ජීවිතයට ගලපා ගැනීමට අවශ්‍යතාවක් ඔවුනට නැත. විශ්වවිද්‍යාල ජීවිතය නිමාවත් සමඟ ස්වභාවයේ දේශපාලනික සත්ත්වයාම නැවතත් සමාජගත වන්නේ ඒ නිසාය. මතක තබා ගන්න, විශ්වවිද්‍යාලය යනු නව සබඳතා, නව අත්දැකීම්, නව සමාජ දැනුම, උප සංස්කෘතික අංග මෙන්ම නව ආකල්ප ද ජීවිතයට ගලපා ගන්නා ව්‍යුහයක් මිසක, නවකයින් පෞරුෂයෙන් පෝෂණය කරන, ජ්‍යෙෂ්ඨයින්ට ගෞරව කිරීමට කියාදෙන, ඔවුන් කියනා දේම කරනා නවකයින් නිපදවෙන, මොළ සේදීමට ලක් කරන අවන් හලක් නොවේය.



වසර ගණනක් පැවති සයිටම් ගැටළුව හා සම්බන්ධ විරෝධතා සහ නවක අනුරූපණය ගැන වාද විවාද පසුගිය කාලයේදී ඇති වූ බව ඔබ දන්නවා ඇති. එහෙත් විරෝධතාවක් ඇති වීමේ හේතුව සහ ගැටළුවක් අවබෝධකර ගැනීමේ හැකියාව ලැබෙන්නේ සමාජයෙන් මිසක සරසවි උප සංස්කෘතියෙන් නොවේය. රටක සමාජ ප්‍රශ්න ශිෂ්‍යයෙකු විසින් අවබෝධ කරගන්නේ විශ්වවිද්‍යාලයේදී නම් බොහෝ ප්‍රමාද වූවා වැඩිය. එහෙත් දැන් සිදුවන්නේ එයයි. බොහෝ ශිෂ්‍යයින් දේශපාලනය ඉගෙනගන්නේ විශ්වවිද්‍යාලයේදීය. එබැවින් ඔවුන්ගෙන් බහුතරයකට තමන් විසින් සවන් දෙන සියළු දේ ඇත්තක් යයි විචාරය කිරීමේ හැකියාවක් නොමැත. නවක අනුරූපණයේදී ඔවුහු අදේශපාලනික දේවල්ද දේශපාලනික දේවල් යැයි තමාට අනුගත කරගන්නේ ඒ නිසාවෙනි. මෙම කාරණාව හේතුවෙන් විශ්වවිද්‍යාල තුලට ඉතා පහසුවෙන් දේශපාලනය රිංගවීමේ හැකියාවක් පවතී. සමාජවාදය ගැන, ධනවාදය ගැන හෝ ප්‍රජාතන්ත්‍රවාදය(ධනවාදයේම ප්‍රකට ස්වරූපය) ගැන කිසිත් නොදන්නා නවකයින් ව කූඨ දේශපාලන අරමුණු වෙනුවෙන්  භාවිතා වෙන්නේ මෙන්න මේ හේතුව නිසායි.



ඔවුහු රැග් වීම, එක බත් පත බෙදාගෙන කෑම, ඩෝප් වුණු එකාගේ හිසේ දෙහි ගෑම, සහෝදරයින් හා සහෝදරියන් ලෙස තම කණ්ඩායමේ සහෘදයින් සැලකීම, කුප්පි දැමීම, නෝට් සැපයීම, සයින් එක ගැසීම ආදී නානාප්‍රකාර උප සංස්කෘතික අංග හුදෙක්ම උප සංස්කෘතික අංග යැයි අදහති. වරද ඇත්තේද එතැනයි. සියුම්ව කල්පනා කර බැලුවහොත් මේ සියල්ලම මෙවැනි සමාජයක පැවතිය යුතු, දැනටත් පවතින සමානාත්මතාවේ අංග බව ඔබට වැටහේවි. සරසවියට පය තබන නවකයා යනු මේ සියල්ල ගැන අවබෝධයක් ඇතිව පැමිණිය යුතු වූවෙකි. එලෙසම නවකයාගේ පෞරුෂය හඳුනාගෙන ක්‍රියා කිරීමේ හැකියාවක් ජ්‍යෙෂ්ඨයාට පැවතිය යුතුය. පුද්ගලයෙකුගේ ආකල්ප වෙනස් කර ගැනීමේ හැකියාව ඇත්තේ එම පුද්ගලයාටම පමණි. ජ්‍යෙෂ්ඨයා තමාට නැති පෞරුෂයක්, තමාට පෙර කල නොතිබූ සමාජ පිළිගැනීමක් විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුලදී ලබා ගැනීමට උත්සාහ දැරීමම පෞරුෂ දුර්වලතාවකි. එය නවකයන්ගේ පැහැදිලි අප්‍රසාදයට හේතු වන බව නොකියාම බැරිය. නවකයා තමාට අනුගත නොවීමේ ස්වභාවයක් ඇත්නම් ඊට හේතුව ඉහත කාරණාවයි. ශිෂ්‍ය කණ්ඩායම් අතර ගැටුම් ඇති වන්නේ මෙවැනි අදහස් නොගැලපීම් හේතුවෙනි. එවැනි අවස්ථාවකදී පවා ගැටුමක් ඇති නොවන්නේ නම් එයද අවස්ථානුකූලව නිවැරදි නොවන බව කිව යුතුය. මක් නිසාද යත් තමා නවකයෙකු වූවද තම සහෝදර ශිෂ්‍ය කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව, අයිතිය තමාට ඇති බව නවකයා වටහා ගත යුතු බැවිනි. "විශ්වවිද්‍යාල ශිෂ්‍යයා විප්ලවවාදී විය යුතුය, එහෙත් ඥානවන්තව ක්‍රියා කල යුතුය" යැයි බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහ නායක හිමිපාණන් වහන්සේ විසින් මෙයට බොහෝ කලකට පෙර වදාළේ ඒ නිසාය. එය සමාජ, දේශපාලන හෝ සදාචාරය වෙනුවෙන් සිදුවන විප්ලවයක් වෙනුවෙන් වූවද එකසේ වලංගුය.



අපට අවසාන වශයෙන් කීමට ඇත්තේ නූතනයේදී විශ්වවිද්‍යාල තුල නවක අනුරූපණය නාමයෙන් ක්‍රියාත්මක වන නවක වදය දැන් දැන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සතුටුවිය නොහැකි බවයි. විචාර බුද්ධියක්, සවිඥානික බවක්, ජීවිත කියවීමක් නොමැති නවකයන් මෙන්ම ජ්‍යෙෂ්ඨයන්ගේ ද ක්‍රියාකලාපය මේ සඳහා හේතු වී ඇති බව කිව යුතුය. ජ්‍යෙෂ්ඨයා ජ්‍යෙෂ්ඨයෙකු වන්නේ විමසුම් සහගත ක්‍රියා කලාපයෙන් මිසක එසේ නොවී ඔවුහු නවකයාගෙන් ගෞරවය බලාපොරොත්තු වීම හෝ එසේ ලබාගැනීම ඔස්සේ ජ්‍යෙෂ්ඨයින් වීමට උත්සාහ කිරීම අතිශයින්ම හිනා සහගතය. එමෙන්ම නවකයා ද තමා ඉදිරියේ සිටින පුද්ගලයාගේ ව්‍යාජ තෙල් වලට අහු නොවි සිටීමට තරම් විචාරශීලී විය යුතුය. අපි එයට “අධ්‍යාපනය” යැයි කියමු.




- පුරවර ප්‍රවාද -

2 comments:

නිදහසේ ශිල්පය ගැන තෙල් කතාවක්..! A story of unity & love, for new state university candidates and freshers

Location - Department of Mathematics, University of Colombo මේක අළුත් බලාපොරොත්තු දළුලන කාලයක්. එක පැත්තකින් 2018 අවුරුද්දෙ උසස් පෙළ ව...