Wednesday, December 20, 2017

දේශය - පාලනය A simple preface to political cruelty of Sri Lanka



ලෝකයේ පැරණිම වෘත්තිය ගණිකා වෘත්තිය වූවද දේශපාලනය වූවද කම් නැත. ඒ දෙකෙහිම සමගාමී පැවැත්මක් එදා අතීතයේ සිටම අප මිනිසුන් ලෙස අපේක්ෂා කිරීම ගැන අපිට නිනව්වක් තිබුණේ නැත. ස්වභාවයේදී දුර්දාන්ත දේශපාලකයන් නිර්මාණය වන්නේ 99%ක් වූ පාලිතයින් වීමට ප්‍රිය වූවන්ගේ වරදිනි. එහෙත් ඔවුහු එය කිසිදා වරදක් ලෙස නොදකිති. ගණිකාව පසුපස සලෙලුන් හඹායන්නේද, දුර්දාන්ත පාලකයා පිටුපස පාලිතයින් කේවට්ටයින් වන්නේද එකම හේතුවකටයි. අපි එයට කියන්නේ ආකර්ෂණය කියායි. ගණිකාව මෙන්ම දුර්දාන්තයා ද ආශාවන් සන්තර්පණය කිරීමට සලෙලාගේත්, පාලිතයාගේත් වටපිටාව සකස් කරයි.



ප්‍රතිගාමීන් හා ප්‍රගතිශීලීන් බෙදී වෙන්වන්නේ දේශපාලනයේ මේ කඩයිමේදී යැයි සිතේ. වෙනසක් සිදුවන සෑමවිටම උග්‍ර මානසික ස්ථාවරයක සිටින්නා ප්‍රතිගාමියා ද එම ස්ථාවරයන් එසේ නොවන්නා ප්‍රගතිශීලියා ද වෙති. වරදවා වටහා නොගන්න, ප්‍රගතිශීලිහු පරිපූර්ණයෝ නොවෙති. එයට හොඳම උදාහරණය ලැබෙන්නේ විශ්ව විද්‍යාල උපසංස්කෘතියෙනි. එය 70 වසරක් පුරාවට නොනිල වශයෙන් සංස්කරණය වෙමින් පැමිණි සම්ප්‍රදායකි. ප්‍රතිගාමීන් හා ප්‍රගතිශීලීන් පහසුවෙන් හඳුනාගත හැක්කේ එහි ක්‍රියාත්මක නවක වදයෙනි. විචාරයෙන් තොරව සමස්ත රටාවම තමාට අනුගත කරගෙන මොල සේදීමට ලක්වෙන නවකයා සහ සියල්ල සිදුවීත් නිවැරදී දේ පමණක් රැගෙන ප්‍රගමනය වන්නා වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීම කල හැකියි. අප සමඟ එක හෙලාම ඔබ එකඟ නොවන්න පුළුවන්. නමුත් එහිදී ක්‍රියාත්මක වන්නේ දේශපාලන සත්ත්වයාවම නැවතත් ඉස්මතු වීමකි. එය හරි හෝ වැරදි ලෙස කියාපෑම සිදු කල නොහැකියි. ප්‍රකට සමාජයේ දුර්දාන්ත දේශපාලකයාවම උපසංස්කෘතිකව මතුකිරීම ගැන යමක් කිව යුතුය. මක් නිසාද යත් කොතරම් කලක් ගතවී වූවද දේශපාලනිකව අපි තවමත් සිටින්නේ මුල් ළමාවියේ වන බැවිනි. ඔය කියන්නා වූ දේශපාලන සත්ත්වයාවම අපි සරසවියේදීත් නිර්මාණය කරන්නේ, ප්‍රකට සමාජයේ වූ සම්මත හර පද්ධතියම ආංශික වශයෙන් සරසවි කුටුම්බයේත් පවත්වා ගැනීමටය. එනිසාම මුලින්ම අපි එයට හරියක් දමමු. එසේ වූවද ශ්‍රී ලාංකික සරසවි සම්ප්‍රදාය පවා නැවත නැවතත් නිර්මාණය කරමින් සිටින්නේ මෙරට සම්මත දේශපාලනික පුරවැසියාවම මිසක අනෙකක් නොවේ. එබැවින් තවත් බොහෝ කලකට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් නොවේ. අපි කරන්නේ විවේචනයක් නොවේ, පවතින තත්ත්වය කියා පෑමක් පමණි.




ඒ ඒ කතාවේ හැටි වූවද ලෝක දේශපාලනයේ සිට මෙරට දේශපාලනය දක්වා පවතින්නේ අහස පොළොව සේ යා කල නොහැකි පරතරයකි. අපිට එය රෝගයක් ලෙස වැලඳී ඇති බව කියාපෑමේ අවශ්‍යතාවක් ඇති වූවද කාලයත් සමඟ මෙරට ප්‍රජාව එය තේරුම් ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු. දකුණු ආසියාතික රටවල් දේශපාලනික වී ඇත්තේ බටහිර රටවල ආධිපත්‍යයේ උවමනාවටය. සහජ බුද්ධිය වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාව පළමු පෙලේ ඇතත් අදටත් මෙරට බුද්ධිමය ව්‍යයාමයන් කෙරෙහි නිසි රාජ්‍ය ඇගයීමක් ලැබෙන්නේ නැත. හේතුව විල්පත්තු වන සංහාරයේ සිට ස්වාභාවික ආපදා හරහා කුණු කඳු නාය යෑම දක්වා වූ මෙරට සමාජ න්‍යාය පත්‍රය මෘගයින් වූ පිරිසක් අතට පත්වී තිබීමය. කණගාටුවෙන් හෝ අපට ඔවුන් ව දේශපාලකයන් ලෙස හැඳින්වීමට සිදුවී තිබේ. ඒත් සමඟම කේවට්ටයින්, වන්දිභට්ටයින්, පුරාජේරු කරුවන්, අන්තගාමීන් ඕනෑ තරම් අපිට දැකගැනීමට හැකිය. කවුරුන් වූවද ඒ සියලු දෙනාම මෙරටදී දේශපාලන සත්ත්වයින් බව කිව යුතුය. මෙය ඉල්ලා සිටීමකි, මෙය අදහස් දැක්වීමකි, මෙය සමාජ විවේචනයකි, අපිට දේශපාලනය හැරුණු කොට කතා කිරීමට, අවධානය දීමට මතෘකා ඇත, ඕනෑ තරම් ඇත. අප රටේ උගතුන් සිටින්නේ ඒ සඳහාය, නව නිපැයුම් කරුවන් සිටින්නේ ඒ සඳහාය, කලාකරුවන් සිටින්නේ ඒ සඳහාය, වෛද්‍ය විශේෂඥයින් සිටින්නේ ඒ සඳහාය, සියල්ලටම වඩා අප මෙරට අධ්‍යාපනයට මුල් තැන දිය යුත්තේ ඒ වෙනස මෙරට පුරවැසියන් තුලින් දැකීමට අපි අපේක්ෂා කරන නිසාය. සෑම පුද්ගලයෙක්ම ගෞරවය ලැබීමට සුදුසු බව අපි නොපිළි ගත්තද අපි එකහෙලාම ගෞරවය ලැබීමට අපේක්ෂාවෙන් සිටිමු. බොහෝ සංවර්ධිත රටවල දේශපාලනය යනු අධ්‍යාපනයේ අවසන් පියවරයි. අපේ රටේ අධ්‍යාපනය යනු හුදෙක්ම එක් අමාත්‍යාංශයක් පමණි. සරලවම කිව හොත් දේශය - පාලනයේ එක් උප කුලකයක් පමණකි.




- පුරවර ප්‍රවාද -

4 comments:

නිදහසේ ශිල්පය ගැන තෙල් කතාවක්..! A story of unity & love, for new state university candidates and freshers

Location - Department of Mathematics, University of Colombo මේක අළුත් බලාපොරොත්තු දළුලන කාලයක්. එක පැත්තකින් 2018 අවුරුද්දෙ උසස් පෙළ ව...