Thursday, February 15, 2018

සරසවි ලෙවෙනිය.. (Sarasavi Leveniya.. A short story)



මම ඔරලෝසුව සාක්කුවේ තිබෙද්දීම ජංගම දුරකතනයෙන් වෙලාව බැලීමි. පෙරවරු 6.00 පසුවන විටම වේදිකාව ගෑවී නොගෑවී පිළිගන්නා පානදුර දුම්රියට ආලෝක සංඥා ලැබී තිබුණි. සාමාන්‍යයෙන් බොහෝ කලබලකාරී මෙන්ම විමසුම් සහගත චරිතයක් වූ මම බසයෙන් බැසගත් වනම පවනට බඳු නොවුණත් ආසන්න වේගයකින් ගාඩර් රාජයාගෙන් ගුවනට මුසු විමි. පසෙකින් මලානික හිරු රැස් පතිත වන විට මා දුටුවේ දුම්රිය ඒ වන විටත් සියනෑ දුම්රිය වේදිකාවට ළඟා වෙමින් පැවති බවයි. ගාඩර් එකේ සිටම දුම්රියේ වහලයට පැනීමේ අවකාශයක් ගැන සිතුණු නමුදු ෆැන්ටසි චිත්‍රපටි චරිත නිරූපණයේ සීමාවක් පැවතිය යුතු බව මම වහාම මට අවධාරණය කලෙමි. ස්වකීය ස්කෑනරය ඔන් කරගත් මා හිස් අවකාශ නිරීක්ෂණය කරමින් සෙනඟ අතරින් වේදිකාවට රිංගා ගත්තේ සෙනඟ අඩු මැදිරිය සෙවීමට නොව, බෑග් අඩුවෙන්ම ඇති රැක් එක සෙවීමටය. එය වඩා පහසු ක්‍රම වේදය බව මට මා ඒත්තු ගන්වා සිටියේ දෑවසරක් පුරාවට කදමළු බැඳගෙන පුරවර වන්දනාවේ යෙදීමේ විනෝදය ගැන දැනසිටි නිසාය. ඉහළින් වූ පයිප්පය අල්ලාගත් මම බෑග් එක "දඩස්" ගා රැක් එකට දැම්මෙමි. ඒ ශබ්දය මට ආවේණිකය. එබැවින් ඒත් සමඟම ඉඳගෙන හා හිටගෙන් උන් තරුණියන් නුපුරුදු බැල්මකින් මා දෙස බැලීම මට දැන් හොඳින් හුරුය. එහෙත් මැයගේ බැල්ම එසේ නුපුරුදු නොවේ. කිහිප විටක් මා ඇය දෙස බලන විටය මට නිනව් වූයේ මේ ඇයම බව. ප්‍රථම වරට මා ඇයව දුටුවේ අදින් තෙවසරකට පෙරය. ඒ සරසවි පිවිසුම් විභාගයට උපකාරක පන්ති යන සමයයි. තාමත් ඒ විදිහටම මාත් සමඟ හිනා වූවද ඇයව මා හෝ මා ඇයව හෝ හරිහැටි අඳුනන්නේ නැතැයි යන්න මා නිශ්චය කර මා හට ආරෝපණය කර තිබුණද සෑම විටෙකම ඒ බැල්ම මායාකාරී වූවක් බව නොකියාම බැරිය. ඇගේ පෙම්වතා යැයි සිතිය හැකි තැනැත්තෙකු සමඟ මීට වසරකට පමණ පෙර මා ඇයව දකින විටදී පවා ඒ සුපුරුදු ආයාචනාවේ බැල්ම ඇය තුල සියුම්ව දැක ගතිමි. ආදර විෂය පටලවාගෙන ජීවත් වන්නවුන් අති බහුතරය අතර මමද සිටින බව විශ්වාස කරමි. එක් බැල්මකින් ඒ තරම් දේවල් කල්පනා කල මා නැවතත් ඇය දෙස බලන විට ඇය සිටියේ ඉවත බලාගෙනයය. එහෙත් ඉවෙන් මෙන් මා ඇය දෙස බලා සිටින බව දැනගත් ඇය මාගේ බැල්ම කොටුකරමින් මා දෙස ක්ෂණිකව බැලීය. මට සිනහා ආවේය. ඒත් සමඟම ඇයටද සිනහා ආවාය. "ඇයි හිනාවෙන්නෙ?" ඇගෙන් ප්‍රශ්නයකි. මා මොහොතකට ඉවත බලා ආපසු පිළිවදන් දෙමින්, "මන් දිහා හොරෙන් බැලුව හින්ද මට හිනා ගියා", "ඇයි බලන්න හොඳ නැද්ද", ඇගෙන් ප්‍රශ්නයකි. "දැන් එක්සෑම් නේද, මට වැඩ හින්ද පාඩම් හුඟක් මිස් වෙනවා", මම කීවෙමි. "ඇයි ඒ? ඔයා ජොබ් එකක් කරනවද?", "ඔව් කැම්පස් එන්ඩත් කලින්ම හම්බුණා", "එපා වෙනව නේද?", මම සිනහවකින් ඇයට පිළිවදන් දුනිමි. "නෝට්ස් හොයාගන්නෙ කොහොමද?", "යාළුවො ඉන්නවනෙ..". ඒ ඇගේ සුපුරුදු කතා විලාශයයි. ගැහැනුන්ගේ කතාබහ අපට වඩා වෙනස්ය. එහෙත් ඇයගේ කතා විලාඅශයට මා ප්‍රිය කලේ වෙනත් බොහෝ තරුණියන්ගෙන් මා දුටු ව්‍යාජ සිනහව හෝ කතාව ඇය කෙරෙන් මා කිසිදු විටකදී නොදුටු නිසාය. පුරවරයට බඩගෑමට පටන්ගත් දා සිට සරසවි මිතුරියක් ලෙස සමීප වූයේ ඇය පමණකි. වෙනත් කිසිදු යුවතියක් ගැන සිතක් පහල නොවීම පුදුමයක් වූයේ රැකියා ස්ථානයේ පවා වැඩ බාරගෙන මුල් දින කිහිපයේම මිතුරියන් කිහිප දෙනෙක්ම මට සිටි නිසාය. පිරිමියෙක්ට තරුණියක් ගැන සිතක් පහල වීම ආදරයක් ඇතිවීමම නොවන බව මම විශ්වාස කරමි.

එය සාමාන්‍ය ආකාරයක මිතුරු බැඳීමක් පමණක් වනවාට මා කැමතිය. මේ නිසාම විටෙක කාර්යාලයේ තරුණියන් මට විහිළු කරයි, "අපෝ මේ කොල්ල නම්, කැම්පස් ගිහිල්ලත් කෙල්ලෙක් සෙට් කරගත්තෙ නෑනෙ". නිහඬව සිනාසෙමින් මම ඔවුනට පිළිතුරු දෙන්නේ ඔවුන් බොහෝ දෙනෙක් මට වඩා වැඩි මහල් වූ නිසා පමණක්ම නොව ඔවුන්ගේ කිචිබිචිය අසා සිටින විට පවා ප්‍රේම සබඳතා ගැන මම කොන්දේසි විරහිතවම කලබලයට පත්වීමත්, ඒ තුල මා කෙල්ලෙකුගේ නොනවතින කතාව අසා සිටින ගොළුවකු වේ යැයි මා තුල ඇතිවූ සාධාරණ බියත් නිසාය. ඇය නැවතත් මට යමක් කීමට සූදානම් වෙයි. මම හිස වනා "ඇයි?" කියා ඇසූ විට "ජොබ් එකක් කරන එකේ, ගර්ල් කෙනෙකුත් ඇති නේද දැන්" කියා ඇසුවාය. "නෑ, පිස්සුද, අපි තාම හොඳ ළමයි, දන්නවනෙ ඉතින්", "අපෝ මෙච්චර හැන්ඩියෙක් වෙලත් ඔහොම ඉන්ඩ එපා අනේ, කැමති කෙනෙක් නැද්ද ෆැකල්ටි එකේවත්?", "නෑ, ඒ ගොල්ලො හරියන්නෑ අපිට", මම කීවෙමි, ඇය සමච්චල් බැල්මකින් මට සිනා වූවද පසුව මා ඇය දෙස රබර් ඇසින් බැලූ විට ඇය මා වෙත දක්වා සිටියේ අනුකම්පාව මුසු ආදර බැල්මකි. පෙම්වතෙක් සිටින තරුණියක, තනිකඩ තරුණයෙක් සමඟ කතාබහ කරන සම්මත ක්‍රමවේදය එයයි. ඒ තුල ඔවුනට තනිකඩ අප ගැන ඇත්තේ සියුම් අනුකම්පාවකැයි මට සිතේ. එහෙත් එය මා ආහාරය කරගෙන සිටීම ගැන ඇය නොදනී. ඔවුන් සිතා සිටින්නේ අප තනිකඩ දිවිය විඳවමින් ජීවත්වන බවය. එසේ නැතහොත් උමතුවෙන් සිටින බවය. ඒ දෙකෙහිම අසත්‍යතාවකුදු මට නොපෙනේ. ඒ කෙසේ වූවද ඔවුන්ගේ කීමට තනිකඩයින් ජෝඩු නොවන බවය සැබෑව. සමස්ත පීඨ ශිෂ්‍යයාවන්ගේ අභින මෝස්තරයන්ගෙන් ඇය හාත්පසින්ම අපගමනය වූ තැනැත්තියකි. කෙල්ලෙකු සතුව තිබිය යුතු වූ ලාලිත්‍යය, සිනහව, කථාව මෙන්ම ගමනද ඇයට නොඅඩුව පැවතුණද ඇය තරම් රූපශ්‍රීයක් නොතිබූ බොහෝ වර්චස් තරුණියන්ගේ පුහු ආටෝපයන් දශමයක් හෝ ඇය වෙතින් ප්‍රකට නොවීම මා ඈ කෙරේ සිත් ගැනීමට හේතු වන්නට ඇත. සත්‍ය වශයෙන්ම ඇය වැනි තැනැත්තියකට පෙම්වතෙක් සිටීම පුදුමයට කාරණාවක් නම් නොවන බව ඇය ඔහුත් සමඟ දුටු මුල් දිනයේදීම මට දැනුණි. "අද ඩියුටිද යන්නෙ?", "හ්ම්ම්ම්.. ඔව්, අත්සන් කරල පුළුවන් වෙලාවට එන්නම්කො ඔයාවත් බලන්ඩ". මාගේ ආදර බැල්මට වශී වූ බවක් පෙන්වූ ඇය උමතු සිනාවකින් දසන් දැක්වීමට තැත් කොට, "හා හා.. එන්නකො එහෙනම්", යැයි කීවාය. මා කීරි ගැසීමි. ස්ත්‍රී මායම් හරි අපූරු මෙන්ම කොතරම් කලාත්මක දැයි මා හරියටම දැකගත්තේ අදය. ඒවා නොමැතිනම් බොහෝ පිරිමින් අඩු වයසින් මියැදෙනවා සිකුරුය.

තරුණියකගේ සිත් ගැනීමට කුමක් කල යුතුද, විටෙක මම කල්පනා කලෙමි. ඒත් සමඟම ඇය මා වෙත විශේෂයෙන් දක්වන සැලකිල්ල සිහිපත් වූ මම ඒ සඳහා පිරිමියෙක්, පිරිමියෙක් වීම පමණක් ම අවශ්‍ය වන බව සිතා ගතිමි. මා කිව්වද නොකිව්වද පිරිමින් ගැහැනුන්ටත්, ගැහැනුන් පිරිමින්ටත් ආකර්ෂණය වන්නේ ඔවුන් පිරිමින් හා ගැහැනුන්ම වන නිසා මිසක අන් කවරක් නිසාදැයි මම කල්පනා කලෙමි.

මුල් වරට මට ඇයව හමු වන විට ඇයට ඔහු හමුවී සිටියාදැයි මම නොදනිමි. ඒ කෙසේ වූවද සරසවි ප්‍රවේශ විභාගය සමත්ව පුරවර වන්දනාව ආරම්භ කල මුල් කාලයේදීම මට ඇයව සමීප වූයේ නිතරම පාහේ දූම්රියේදී වූවත් රැකියාව සමඟ කාර්යබහුල වීම නිසාවෙන්ම එය අතිශයින්ම අහඹු සිදුවීමක් විය. වෙනත් පිරිමින් සමඟ වූවද ඇය බොහෝ හිතවත්ව කතාබහ කරන බවක් මා දුටුවද ඇය මා කෙරේ දක්වන විශේෂත්වය මගේ ස්වයං විඤ්ඤාණය විසින් මා හට ඇයව හමුවන හැම අවස්ථාවකදීම කිතිකවමින් සැලකර සිටීම විටෙක මා හට වදයක් ලෙසද දැනෙන්නට විය. ඇය මා නොවන වෙනත් පෙම්වතෙක් ඇගේ ජීවිතය කරගෙන සිටින බව දන්නා මම ම ඇයව සිහින දෙව්දුවක් බවට පත්කරගැනීමට උත්සුක වන බව දැකගන්නා මම මටම සිනාසීමට තැත් කලෙමි. හෙතුවක් නොදැනුණද සරසවි දිවියේ මුල් කාලයේදී ඇය සමඟ තනිව ආහාර ගැනීමට ලද අවස්ථාවේදී ඇය මට බොහෝ දේවල් පිස්සුවෙන් මෙන් කියාගෙන ගියා මතක් වූයේ මා හට ඒ සියල්ල කීමට මා ඇගේ කවුදැයි යන්න මට සිහිපත් වූ නිසාය. එදා මා ඇගේ ලාලිත්‍යවත් කතාව සාවධානව අසා සිට ඇසුවේ ඔහු ඇගේ පෙම්වතාද කියා පමණකි. එයට "ඔව් හලෝ, එයා නම් පිස්සු කොල්ලෙක්" කියා ඇය කීවා මතකය. මිනිත්තු කිහිපයක නිහැඬියාවකට පසුත් ඇය මා දෙසම බලාගෙනය. පිරුණු සිනහවකින් මුව සරසාගත් මම ඇයටම කතාව පටන් ගැනීමට ඉඟියෙන් මෙන් ආයාචනා කලෙමි."ඔයා ක්ලාස් යන කාලෙ ගර්ල් කෙනෙක් පස්සෙන් ගියා නේද", "නෑ, ඇයි එහෙම අහුවෙ", "(සිනාසෙමින්) එහෙනම් ඒ දවස් වල ඇයි නිතරම මං දිහා බැලුවෙ". ඇය කියනා කාරණාව වටහා ගැනීමට මට මොහොතක් අවශ්‍ය වූ විට මා පත් වූ ප්‍රශ්නාර්ථවත් මෙන්ම විමතියට පත් මුහුණ දැකීමට ඇය ආයාචනාත්මකව බලා සිටින බව මට තෙරුම් ගියේ ඉන් පසුවය. "අයියෝ පිස්සි, මන් ඒත් මේ කල්පනා කරේ කවුද ඒ කෙල්ල කියල", "හ්ම්ම්ම්..  එහෙනම් බොරුවටද මන් දිහා බලාගෙන හිටියෙ", "ඔයා දිහා බලාගෙන හිටියා කියල ඔයා කොහොමද කියන්නෙ, එහෙනම් ඔයත් බලාගෙනම ඉන්ඩ ඇති..", "අපෝ මෙයා හරි ලස්සන මනුස්සයනෙ, බලාගෙනම ඉන්න, මේ ඒක නෙවෙයි, අපි මීට් වෙමු". වෙනත් සබඳතා වල හමුවීම් තීරණය කරන්නේ කොල්ලා වූවද ඇයට මා හමුවීමට අවශ්‍ය බව ප්‍රථමයෙන් කියා සිටීම ඇගේ විවෘත බව ගැන මට ඉඟියෙන් මෙන් දැනුම් දුන්නේය. "ඇයි, එයත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක්ද", "නෑ, එහෙම දෙයක් නෙවෙයි, මොකුත්ම ප්‍රශ්නයක් නැති එකත් වෙලාවකට ප්‍රශ්නයක් නෙ හලෝ", "හ්ම්ම්.. ඒත් කොහෙදිද මීට් වෙන්නෙ", "ඔයාම කියන්නකො", "එහෙනම් අද හවස හම්බෙමු, විහාරමහාදේවි පාර්ක් එකේදි..", "හ්ම්ම්.. එහෙනම් මං හවස 3.30ට එනවා, ඔයා ඉන්න, හරිද..", "හා..".

මා හවස පැමිණෙන විටත් ඇය පැමිණ සිටියේ නැත. මහජන පුස්තකාලය අසල මඳ වේලාවක් සක්මන් කල මම එකවරම නෙත ගැටුණු ඇගේ හුරුපුරුදු ලාලිත ගමන නිරීක්ෂණය කලෙමි. මුව පුරා පිරී තිබූ සිනහව දකින්නට නොලැබීම ගැන මට ඇති වූයේ විමතියකි. හදිස්සියේම මා සුපුරුදු දුග්ගන්නාරාළ බවට පත්ව සිටීම ගැන මා මටම සමච්චලයට හිත යටින් සිනහා වීමි. "ඇයි මේ..". මොකුත් නොකියා අහක බලාගත් ඇය දෙස මඳ වේලාවක් බලා සිටි මම "හරි හරි යමුකො අපි..". මා අනුගමනය කල ඇය මා පසුපසින්ම ආවේ තනිකඩ මට කලාතුරකින් නොලැබුණු ස්වයංක්‍රීය ආත්මාභමානයෙන් මා පුරවාලමින් වූවද සියල්ලේ යථාර්තය දන්නා මම ම මා හට එම ආදර පරිකල්පනය ලබාදීම ගැන මම හිත යටින් හාස්‍යයට පත්ව වියරුවෙන් මෙන් සිනහා වීමි. විටින් විට හමන මඳ සුලඟින් සලිත වන මල් වලින් නිදහස් වන කහ පාට මල් පෙති සියුම් වර්ෂාවක් මෙන් නොකඩවා මහ දැවැන්ත ගස් වලින් නිදහස් වන අයුරු දෙස මමත් ඇයත් බලා සිටියෙමු. "ලස්සනයි නේද..", "හ්ම්ම් මීට කලින් මම නම් ඕනෙ තරම් දැකල තියෙනව, ඔයා එයා එක්ක ඇවිල්ල නැද්ද මීට කලින්", "නෑ හලෝ..", "ඒක නම් වෙන්ඩ බෑ". ඇය කීවේ බොරුවක් බව ඉවෙන් මෙන් දැනගත් මම, "හරි දැන් මොකටද මාව පිස්සු වට්ටල මෙතෙන්ට ගෙන්න ගත්තෙ", "මොකක්, පිස්සු වට්ටල?". නුරුස්නා හුරතල් බැල්මක් මා වෙත දක්වා සිටි ඇය, "ඇයි ඔයා ගර්ල් කෙනෙක් එක්ක යාළු වෙන්නෙ නැත්තෙ, ඔයාට ජොබ් එකකුත් තියෙනව, කැම්පස් එකේ ඉන්නෙ, අනිත් එක පෙනුමෙන් අඩුවකුත් නෑ", "මොකක්(මට සිනහා ආවේය).. දැන් ඔයා මට එන්ඩ කිව්වෙ මට කෙල්ලෙක් සෙට් කරල දෙන්ඩද", "ප්ලීස් අනේ, විහිළු නෙවෙයි, මන් ඇත්තටම අහන්නෙ, ඔයා කවදාවත් මට මේ ප්‍රශ්නෙට උත්තර දීල නෑ". මට නැවතත් සිනහා එයි, "හරි දැන් මම මොකක්ද ඔයාට කියන්ඩ ඕනෙ, මට ඔයා ගැන කැමත්තක් තියෙනවා, ඒ හින්ද මම වෙන කෙල්ලෙක් එක්ක යාළු වෙන්නෙ නැතුව ඉන්නව, මට ඔයා එක්ක ඉන්න හැම වෙලේම මගේ අනාගත බිරිඳ එක්ක ඉන්නවා වගේ දැනෙනවා, මගේ බබාලගෙ අම්මා වගේ දැනෙනවා, තව මොනවද කියන්ඩකො..", "මෝඩයා.. මෝඩයා.. මෝඩයා..". ඇය හුරු අතින් කුඩය අතට ගෙන මට රිදෙන්ඩම පහර දුන්නීය. කිසි දිනක මෙලෙස ගුටියක් කා නැති මා හදිසියේම එලෙස ඇය සමඟ හුරතල් වන්නේ ඇයි, මම මගෙන්ම ප්‍රශ්න කලෙමි. "ඇයි ඉතින් මම ඇත්තනෙ කිව්වෙ, හා දැන් එහෙම නෙවෙයි  ද ඔයා හිතාගෙන හිටියෙ..", "නෑ නෑ අනේ මං දැනගන්න අහුවෙ, ඒත් ඔයා කවදාවත් මට  උත්තරයක් දීල නෑනෙ", "මන් හේතුව කියන්ඩද, හැබැයි අවුල් ගන්ඩ එපා හරිද, ඔයා එයාට දෙන වදේ හැටියට මම හිතාගත්ත කෙල්ලෙක් නැතුව ඉන්න එකම මට සැපයි කියල", "හා එහෙමද, මං යනවා අප්පා.., ඔයාට හැම වෙලේම විහිළු". යාමට නැඟී සිටි ඇයව පහසුවෙන්ම නවත්වා ගැනීමට මම හොඳින්ම දනිමි. "හරි හරි.. මං ඔයාට කැමතී, ඔයාව වයිෆ් කරගන්ඩත් කැමතී, ඔයා මගෙ බබාලගෙ අම්මා වෙනවටත් මං කැමතියි", "මොකක්ද කිව්වෙ, ගොන් කොල්ලා, ඉන්නවකො ඔහොම..", "ජාති ජාති, ඔය ඉන්නෙ කෙල්ල දැන් ලස්සනට", කියූ මම නැගී සිටිමින් ඇයව මඟහැරීමට මඳක් දුර දිව ආයෙමි. ඇය තවමත් රවාගෙන මා දෙස බලා සිටී. "ඇයි නැවතුනේ..", "ඔයාව දාල යන්ඩ දුකයි නෙ(සිනහ වෙමින් මම කීවෙමි)", "හා එන්ඩකො එහෙනම් ලඟට" නුරුස්නා බැල්මකින් ඇය කීවාය. "හරි හරි අයෑම් සොරි". මා කොනිත්තමින් නැවතත් මා අසලින් වාඩි වූ ඇයට මම "මම ගර්ල් කෙනෙක් එක්ක යාළු වෙන්නෙ නැත්තෙ ඇයි කියල මමවත් දන්නෙ නෑ, ඒත් ඔයා ඇයි මේ හැම දෙයක්ම මගෙන් අහන්නෙ, ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ඔයා ගැන දැනගත්තොත් මොනවා වෙයිද", "මන් ආදරේ එයාට විතරයි, ඒත් ඔයා තනියම ඉන්න එක මගෙ හිතට මහ බරක්", "මටවත් ප්‍රශ්නයක් නොවෙන දෙයක් ඇයි ඔයා ප්‍රශ්නයක් කරගන්නෙ". සිනාමුසුව මම විමසා සිටියෙමි. "ඊට කලින් කියන්ඩකො ඇත්තටම ඔයා එයා එක්ක මෙතෙන්ට ඇවිල්ලා නැද්ද කියලා", "තියෙනවා ඕනෙ තරම්", "එහෙනම් ඇයි මට බොරු කිව්වෙ", "මට බය හිතුණා", "මොකටද..", "ඔයා වැරදියට හිතයි කියලා". තරමක් වික්ෂිප්ත වූ මම කාරණය වටහාගෙන සිනාමුසුව ඉවත බලා ගතිමි. එහෙත් ඇය ඊට වඩා යමක් බලාපොරොත්තු වූ බවක් දකින්නට ලැබුණි. මම සම්මතයේදී ඇයට ආදරය කලේ නැති වූවත් ඇය මට ආදරය දැක්වීමට උත්සුක වන බවක් මට දැනෙන්නට විය. ඇය මා සමඟ ප්‍රේමයක් ඇතිකරගෙන සමාජයේ වටේ යන කැටයමක් වීමට දැක්වූ අකමැත්ත නිසාමත්, ඒ ආකල්පයම මා ඇය කෙරේ දැක්වීමට පටන්ගනීවි යැයි ඇය සිතු නිසාත්, ඇය සත්‍ය වශයෙන්ම ඔහුට ආදරය කරන බව මා ඉන් නිගමනය කරන බව දන්නා ඇය, මම ඇය ගැන ආදරයක් ඇති කර නොගනීවි යැයි ඇය සිතන නිසාත් ඇය එලෙස හැසිරෙන බව මා හට දැනෙන්නට වූවත් මොහොතකට ඇගේ අවංක මුහුණ දෙස බැලූ මට, මම සිතූ ප්‍රථම හා දෙවන හේතුව පමණක් ඒ බැල්මට හේතු වූ බව මම නිශ්චය කරගතිමි. එහෙත් දැන් දැන් ඇය මා, ඇය කෙරෙහි එලෙස ආදරයක් ඇති කරගන්නවාට කැමැත්තක් පෙන්වන බවක් මේ මොහොතේදී මට දැනෙන්නට විය. එය හුදෙක්ම ලාමක ආදරය ලෙස මගේ ප්‍රතිවාදී අදහස් නූල් බෝලය විසින් බාරගැනීමට නොකැමැති විය.

හදිසියේම මා ඇමතූ ඇය තදින් මට තුරුළු වූයේ මොහොතකට මා නොසන්සුන් කරමින් වූවද සම්මත ස්ත්‍රී ස්වභාවයේ කැටයම්, සිතුවම්, කුරුටු ගී මෙන්ම මුද්‍රාවන්ද සුළුවෙන් හෝ දැනගෙන සිටි මම ඇයට ඉඩදී සිටියෙමි. "මම මොකක්ද කරන්න ඕනෙ කියල කියන්න..". ඇය සංවේදීව විමසූ ප්‍රශ්නයට එක්වරම පිළිතුරක් සිතා ගැනීමට මා අපොහොසත් වූයේ ඇයත් මාත් අතර හදිසියේම ඇතිවූ තහනම් ආදරය විසින් ඇය මගෙනුත්, මා ඇගෙනුත් කායික පහස ඉල්ලා සිටීමට බල කිරීම නිසාය. ආසන්නයේ කිසිවෙකු නැති බව දැණුනු නිසාත්, මේ බිමේදී කෙල්ලෙක් කොල්ලෙක්ට තුරුල් වීම සාමාන්‍ය සිදුවීමක් නිසාත් මා තරමක් සන්සුන් වූවද, ඇය එසේ කිරීම සියල්ල නුපුරුදු වූ මා හට අතිශය ආගන්තුක විය. සියල්ල එකින් එක සිතමින් සිටින අතරතුරදීය ඇය විමසූ පැනය මට සිහිපත් වූයේ. "ඔයා හිතන ඕනෙම දෙයක් කරන්ඩ කියල මට කියන්ඩ බෑ, ඔයා අදරේ එයාට නම් මට තුරුල් වුණ එක වැරදී තමා, ඒත් කමක් නෑ ඔයා එයාගෙ ආදරේ නැතිකරගන්ඩ එපා, මමනෙ කියන්නෙ". මොහොතක් මා දෙස ආදර බර බැල්මකින් හිස ඔසවා බලා සිටි ඇගේ කොපුල් රූරමින් කඳුළු හැලෙන්නට වූ බවක් මා දුටිමි. "කොහොමද ඔය තරම් හිත හයිය කරගත්තෙ", "හිතලම තමා". ඇය කඳුළු අතරින් සිනාසෙන්නට විය. ලෝකයාට නොදැමුණු අසම්මත ආදරයක් ලෙස ජ්වලනයට පත්වෙමින් තිබූ කෙටි කාලීන ආදරබර හැඟීම් ඇගේ කඳුළුත් සමඟ දියවන්නට විය. මනසින් නිසොල්මන් වූ මම ඔහු කෙරේ ඇයට ඇති සත්‍ය ආදරය ගැන සිතන්නට වීමි. ඔහුගේ ආදරයට පිටුපෑමේ නොකැමැත්තෙන් සිත පුරවාගත් ඇය, ප්‍රථම හැඟීමෙන් මා කෙරෙහි ඇතිකරගත් සෙනෙහසටද මනසින් ඇලී සිටින්නීය. ආදරය, උමතු ආදරය ස්ත්‍රී සන්තානයේම එක් කුඩා පරිච්ඡේදයක් පමණක්ම බව ප්‍රථම වතාවට වටහා ගත් මම ඇයව විශ්ව ධාතුව හා සැසඳීමට තැත් කලෙමි. ඇගේ උත්තමපුරුෂ සිතුවිලි රටාව ගැන මා සිතන්නට වූයේ ස්වකීය ප්‍රේමවන්තයා කෙරෙහි සිය ස්වයංසිද්ධ ආදරය සනාථ කරලීමේ අපේක්ෂාවෙන්ම ඇය පෙර කලකදී ප්‍රථම හැඟීමෙන් හටගත් ආදරයට වැටකඬුළු දමා සිටීමට ගන්නා වෑයම දුටු විටය. ඇගේ එම වෑයම දැකගත් මා නිකරුණේ ඇයට ආදරය කිරීමට සිතීම ගැන ලැජ්ජාවට පත්වන බව ඇය දන්නේ නම් ඇය තවත් මා හා ආදරයෙන් බැඳෙනු ඇත. එමෙන්ම එම සිතුවිල්ලම ඇය මා සම්බන්ධයෙන් ඇතිකර ගන්නේ නම්, ඒ ඇයගේ ආදරය වෙනුවෙන් මා ඇයට ආදරය ප්‍රකාශ කිරීමෙන් වලකී සිටීමේ අසාර්ථක උත්සාහයකින් බව ඇය දැනගතහොත් ඇගේ ඒ ආදරයට බැඳීමටද මට සිතේවි. ආදරය කොන්දේසි විරහිත සිතුවිල්ලක් වීම ගැන ප්‍රථම වතාවට ද්වේශයක්(ඇත්තෙන්ම එයද ආදරබර සිතුවිල්ලක්) හටගත්තේ එය මෙතුවක් කල් මා සිටි දරදඬු ස්ථාවරය කණපිට පෙරළු නිසාවෙනි. ඇයත් මමත් බොහෝ වේලාවක් මෙසේ එකිනෙකා ගැන සිතමින් සිත්සේ ආදරය විඳීමට ඉඩහැරීම ඇයත් මමත් අතර වූ ප්‍රථම හැඟීමේ ආදර ගණුදෙනුව යන්තමින් හෝ පියවීමක් ලෙස එතැන් පටන් මම සිතන්නට වීමි.




- සරසවියෙන් පුරවර ප්‍රවාද -

2 comments:

නිදහසේ ශිල්පය ගැන තෙල් කතාවක්..! A story of unity & love, for new state university candidates and freshers

Location - Department of Mathematics, University of Colombo මේක අළුත් බලාපොරොත්තු දළුලන කාලයක්. එක පැත්තකින් 2018 අවුරුද්දෙ උසස් පෙළ ව...