Wednesday, February 14, 2018

අරුමක්කාරිගෙන්.. (Arumakkaarigen.. A short story)



මරදාන කියූ විටම ඔබට එක්වරම සිහිපත් වන්නේ දුම්රිය ස්ථානය නම් මා සිටියේ දුම්රිය ස්ථානයේය. ඕනෑම නඩුවක් දුම්රිය හා සම්බන්ධ සිද්ධියක් වීම අදෛවෝපගත විය යුතු යැයි මම සිතමි. මක් නිසාද යත් සියල්ල එසේ වූ විට මට අළුතින් කැපවී කිරීමට යමක් නැති නිසාය. අරුමක්කාරිව මට මුලින්ම පරිවර්තනය වූ පරිණත යෞවනියක ලෙස දකින්නට ලැබෙන්නේ එහිදීය. මාගේ දිලිඳු ගමන් විලාසය බැඳී තිබුණේම මටම ආවේණික වූ දුම්රිය උප සංස්කෘතියක් සමඟ බැවින් අරුමක්කාරි ද මටම කැපවූ ස්ත්‍රිය බව යටි සිතට මම ආරෝපණය කරගෙන සිටියෙමි. අරුමක්කාරි  යැයි ද, මනමේ කුමාරි යැයිද මාගෙන් නම් ලබා සිටි ඇයගේ නියම නම මා දන්නේ නැතැයි කීමට මම ප්‍රිය කරමි. වරක් ඇය හමුවන විට මුල් වතාවේම ඇය මා හඳුනා නොගැනීම පුදුමයක් නොවුණි. ඒ ඇයව දකින්නේ හරියටම දෑ වසරකට පසුව වූ නිසා ය.

කොතරම් කාලයක් වූවද මා ප්‍රිය කරන ගැහැනුන්ගේ ජංගම දුරකතන අංකයන් මතක තබා ගැනීමේ කැත පුරුද්දක් මට තිබූ නිසා අරුමක්කාරි සම්බන්ධයෙන්ද ඒ මතකය තාමත් ඒ විදිහට තිබේ. මතක තිබූ ජංගම දුරකතන අංක තුනෙන් එක් අංකයක් අහඹු ලෙස දුරකතනය ඔස්සේ ඇමතූ විට ප්‍රතිචාරයක් නොමැත. ඇයට තිබුණේ ලස්සන පමණකි. එබැවින් මා එයට ස්ත්‍රී ලාලිත්‍යය යැයි කීමට නොකැමැතිය. එහෙත් අපට අකමැති දේ කොතෙකුත් කිරීමට සිදුවන බැවින් ඇයටද වරක් මම ලස්සන ගැන කියා තිබුණි. එයට අප කියන්නේ මුරුංගා අත්තේ තැබීමටත් වඩා ෆෝම් කිරීම කියාය. මා කැමති ආකාරයේ මායාකාරී ලස්සන පමණක් ඇයට පැවතුණද ඇය තුල කිසිදු පිරිමියෙකු ප්‍රිය කරන ආකාරයේ සුන්දරත්වයක් නොතිබීම නිසා ඇයට පිරිමින්ගේ "ආකර්ෂණය" පමණක් ලැබීමට සිදුවීම පුදුමයක් නොවුණි. එය මා සම්බන්ධයෙන් නොවෙනස් වූවද ඇය මා අසල නොසිටින අවස්ථාවලදී ආශාවකුත් අනෙක් අවස්ථාවලදී පැහැදිලිවම ආදරයකුත් හට ගැනීම පිස්සු ආදරයම නොවේදැයි මම සිතන්නට වීමි. මතකයේ තිබූ අනෙක් අංකයෙන් ඇමතූ විට ඇය සියුමැලි අතින් ප්‍රවේශමෙන් අල්ලාගෙන සිටි ජංගම දුරකතනය හුරු අතට ගෙන තිරය පිරිමැද මා ඇමතීය. ඒ නුපුරුදු අංකයකින් ආ ඇමතුමක් සම්බන්ධ කරගත් ආකාරයෙන් වන බැවින් කිසිවක් නොකී මම ඇය අසලටම ගොස් ඇයට ඇමතීමි, "හලෝ". කටහඬ ඇසී මා දෙස වික්ෂිප්තව බැලූ ඇගේ මුහුණේ දශමයකුදු විස්මයක් නොතිබීම මා නිසි පරිදි සෑහීමකට පත් නොකලේය. "ආ ඔයා". කාලයෙන් හෙම්බත් වී සිටි ඇගේ මුහුණේ ස්වරූපය වහා වටහා ගත් මා ඇයට ප්‍රථමයෙන් අවස්ථාව දුන්නද, මා කිසිවක් විමසන තුරුම ඇය කිසිවක් නොකීවාය. "අද ගෙදර යනවද, "ඔව්", "ගොඩක් රෑ වෙනවද යනකොට", "නෑ, මම ගාඩ් වෑන් එකේනෙ යන්නෙ", "අඳුනන කෙනෙක් ඉන්නවද යන්ඩ", "ඔව්", "හා", "ඔයා හැමදාම මේ ට්‍රේන් එකේද යන්නෙ", "නෑ, හමදාම යන්නෙ නෑ, සමහර දවස් වලට යනවා", "හ්ම්ම්.. මන් යනවා එහෙනම්". හදිස්සියෙන් සිටි ඇයව නවැත්වීමට මම උත්සාහ නොකලේ, නියමිත දුම්රිය මහවිය මට වඩා ඉක්මන් වූ නිසාවෙනි. එබැවින් මම ඇයව දුම්රියට බාර කොට ඉවත් වීමි. එහෙත් එය මම ද යාමට සිටි දුම්රිය බව සිහිපත් වූයේ නළා හඬ මා අමතා මොහොතක් ගතවීමෙන් අනතුරුවය. ප්‍රථම වතාවට දුම්රියකට දෙවෙනි වීමට සිදුවූ මම ව්‍යාකූල මනසින් දුම්රියට ගොඩ වීමි.

දෙතුන් දිනයක් අහඹු ලෙස එකම වේලාවට හමුවීමට තරම් හේතු කාරණා යෙදුණු බැවින් මැරුණු සබඳතාව ගැන මා නැවතත් කල්පනා කලෙමි.  එහෙත් එම සියළුම අහඹු හමුවීම් ඇය දශමයකට මායිම් නොකල බැවින් පෙර දින ඇතිවූ සුහදතාවද මරා දැමීමේ උවමනාවක් බලෙන්ම මම ඇති කරගත්තෙමි. මම බොහෝ උවමනාවෙන් ඇය දෙස බැලුවද ඇය නොදැක්කා සේ මගේ ඇස් මගහැරගොස් දුම්රියට ගොඩ විය.  "ආයෙ කිසිම දවසක ආදරේ ගැන අහලා එවලා මට කරදර කරන්න එපා, මං ඔයාට ආදරේ කරන්නෙ නෑ, කවදාවත් ඒක එහෙම වෙන්නෙත් නෑ", තෙවසරකට පෙර ඇය කියූ කතාව ගැන මගේ හිත මම ම කියවීමට පටන් ගතිමි. "ඉතිහාසය නැවත නැවත සිදුවෙනවා" යැයි කියන්නේ පරණ දේ නැවත නැවත සිහිපත් වීම දැයි විටෙක සිතේ. මෙය පසු පස හඹා යාමකට වඩා මා බොහෝ සෙයින් ප්‍රිය කල උමතුවක් බවට පත්ව තිබේ. නිවෙසට යෑමේ හිතක් නොවූ බැවින් ඇගේ රැවුණු මුහුණ හිතේ මවාගෙනම මම දෙමටගොඩින් බැස බෝඩිමට යෑමට තීරණය කලෙමි. මාන්දරයා අද එන්නේ නැතැයි කියූ බැවින් තනි පාන් ගෙඩියක් හා මස් හොද්දක් රැගෙන පාර පැනීමට ගිය ද කහ බල්බය පමණක් දැල්වෙමින් නිවෙමින් මාර්ග සංඥා අත්හිටුවා තිබුණි. මගේ දෙගිඩියාව මාර්ග සංඥා විසින් දැනගත් වගක් මම සිතමි. සිකුරාදා දිනයක් වූ බැවින් හෙට අනිද්දා නිවාඩු ය.

සෙනසුරාදා උදයේ මාන්දරයා ටොරින්ටන් එන බවක් කියූ බැවින් මම දහයයි තිහ පමණ වන විට ආර්කේඩ් එක ගාවට යද්දිත් ඔහු පැමිණ සිටියේය. "මොන හු@#$ බන් කරේ මෙච්චර වෙලා, පැය එක හමාරක් මෙතන", "ඉතින් යකෝ උඹ කඩේකින් මොනාහරි කාල ඉන්ඩ එපැයි", "දෙපාරකට ටී තුනයි, බනිස් දෙකකුයි කෑවා, උඹ කාලද ඉන්නෙ?", "නෑ තාම", "එහෙනම් වරෙන්", "උඹ ආයෙත් කන්ඩද යන්නෙ", "මේ, මගෙන් කුණුහරප අහගන්නෙ නැතුව මෙන්න මෙහෙ වරෙන්", මම ගොළු හිනාවකින් ඌට ප්‍රතිචාර දැක්වීමි. මාන්දරයාගේ බයික් එකට ගොඩවෙන්න යනවිටම මට ඇමතුමකි. "අම්මට සිරි, මේකි මොකද මට කතා කරන්නෙ", සුපුරුදු අංකය හඳුනාගත් මම හිතින් මටම කියා ගතිමි. මොහොතක් දුරකතන තිරය දෙස නොසෙල්වී බලා සිටින මා දුටු ඔහු, "කවුද බන්", "දන් නැති නම්බර් එකක්", "ඇත්තද, උඹේ පැණි මූණ දැක්කම කී හැකි". මගේ මුහුණට සතුට හා මවිතය පිරි රක්ත වර්ණ ලේ දහරාවක් හදිසියේම ගල ආ බව මට තේරුණේ එවිට ය. "පරණ නඩුවක් බන්, කොච්චර ඇහුවත් නඩු තීන්දුව දෙන් නෑ මේකි", ", සිලාද?", මාන්දරයා කින්ඩියට හිනාවක් දැමීය. මම ඇමතුම සම්බන්ධ කලෙමි, එහෙත් කිසිත් නොකීවෙමි, "හලෝ, හලෝ, ඔයාට මාව ඇහෙනව ද?", ඇය සිහින් හඬින් කීවාය. "ඔව්, මට ඇහෙනවා, කියන්න!", "මේ, මට ඔයාව පේනවා, ඒකයි කතා කලේ", කිසිදු හැඟීමක් නැතිවම ඇය කියාගෙන ගියාය. "මොකක්?", ඒත් සමඟම ඇය ඇමතුම විසන්ධි කලාය. මම කලබලයෙන් මෙන් හතර වටේ පිරික්සා බැලීමි. නුදුරින් තිබූ බස් නැවතුමේ සිට ඈ මා දෙස බලාගෙන ය. "යකෝ ඊයෙ ගෙදර ගියපු එකී අද කොහොමද මෙතන ඉන්නෙ?", මම පුදුමයෙන් මෙන් හිත කැරකෙව්වෙමි. එවෙලේම මාන්දරයා මා අමතමින්, " අන්න නඩුකාරතුමිය ඇවිත්, ගිහින් නඩු තීන්දුව අරන් වරෙන්", "උඹ කොහොමද ඒකිව අඳුරන්නෙ", ඇය දෙස බලාගෙනම මම විමසුවෙමි. "ඇයි යකෝ, ඒකි මගෙ කෑල්ලනෙ", අවඥාසහගතව මා දෙස බලමින් ඔහු කෙවේය. මගේ ඇස් යට යමින් මුහුණ බර වන්නට විය, "එහෙම සීන් එකක් උඹ මට කලින් කියලා නෑනෙ". මගේ මුහුණ තව තව බැරෑරුම් වනු දුටු ඔහු, "දැන් මාස හයක් විතර වෙනවා බන් සෙට් වෙලා, මං උඹට කියන්ඩ හිටියෙ, කොහෙද ඉතින් උඹව වැඩිය සෙට් වෙන්නෙත් නෑනෙ දැන්". "එහෙමද?", මම ඔහුගේ කතාව සිරියස් ගත් බවක් දැනුණු මාන්දරයා, "ඔටු ලබ්බො, ඒකි මගේ කෑල්ල නම්, මං මෙතන ඉද්දි උඹට කතා කරයිද, අනිත් එක බන් ඒකි උඹට තීන්දුවක් දෙන්නෙ නැත්නම්, එහෙම වෙන්ඩ කවුරුහරි කොල්ලෙක් ඉන්ඩත් එපැයි ඒකිට", ඔහු දිගින් දිගටම, හිනාවකින්ම කියගෙන ගියේය. "තෝ හු#$, මං කිව්වයි කියලා හිතාගනින්", යලි පණ නැගුණු සිනහවෙන් මම කීවෙමි. "පල පල, ගිහින් කතා කරලා වරෙන්", මාන්දරයාගේ කතාව අසා මම ඉක්මනින් ඈ වෙත ගියෙමි.

මද සිනහවක් හෝ නැතිව මා දෙස බලා සිටි ඇය, " ඔයා ගෙදර ගියේ නැද්ද", මම සහ ඇය දෙදෙනාම එක විට එකම ප්‍රශ්නය ඇසීය. සිනහවක් මුවගට නැගුණු ඇය දෙස බලා මම, "ඔයා ඇයි ගියේ නැත්තේ?", "මම ට්‍රේන් එකෙන් බැස්සා ආයෙත්, ඇයි ඔයා ගියේ නැත්තෙ?", "මම බෝඩිමට ගියා, ට්‍රේන් එකෙන් බැස්සෙ ඇයි?". මා දෙස අමුතු ආකරයකින් බලා සිටි ඇයගේ ඇස් වලින් මම ඊයේ සිදුවූ සිදුවීම ඇයට එසේ කිරීමට හේතු වූ බව වටහා ගත්තෙමි. "මම ආපහු බහිනකොට ඔයා ගිහින්නෙ!", "ඔව්, මමත් ඒ ට්‍රේන් එකේමනෙ ගියේ, දෙමටගොඩින් බැස්සා", "ඉතින් මෙහෙ ආවෙ", "මම බෑන්ක් එකට ආව", "එහෙමද, මම මේ කන්ඩ ආවෙ", "තාම උදේට කාලත් නැද්ද ලමයො!", මම එය සනාථ කරමින් හිස සැලීමි. "බලන්නකො ඉතින්, යමු මාත් එක්ක ගිහින් කමු ", " කමක් නෑ, මං යාළුවා එක්ක ගිහින් කන්නම් , ඒක නෙවෙයි, ඇයි මාව ඊයෙ දැක්කෙ නෑ වගේ හිටියෙ?", "ඒකදඔයා හරි නරකයි මල්ලි, මාස ගාණකින් ගිය පාර ඔයාව වෙඩින් එකේදි දැක්කෙ, නිකමටවත් මං දිහා බලලා හිනා වුණේවත් නෑ, දැක්කෙ නෑ වගේ හිටියා මාව", සිනහවකින් මුව සරසා ගත් මම, "රිටර්න් එකක්ද දුන්නෙ මට", ඇය මා දෙස බලා රවාගෙන ය. "අයෑම් සොරි", එය ඇසූ ඇය කිසිත් නොකියාම මා දෙස බලා සිටියාය. කිතිකැවුණු හිනාවකින් වරින් වර පාරේ යන වාහන දෙසත් මා දෙසත් බලමින් ඇය, "ඉතින්, කාල එන්න ගිහින්", "එතකොට ඔයා!", "මගෙ යාළුවෙක් එනවා තව ටිකකින්, මම මෙතන ආර්කේඩ් එකට වෙලා ඉන්නම්", "හරි එහෙනම්, පරිස්සමින් ඉන්න, මම පැය කාලෙන් එනවා", "හ්ම්ම්ම්..". මාන්දරයා වෙත ගිය මම, "යමන් ගිහින් ටක් ගාලා කාලා එමු", "දිවා ආහාරය ද?", "මේ, විකාර කියවන් නැතුව යමන්". කෑම කා අහවර වූ මාව ආර්කේඩ් අසලින් දමා මාන්දරයා ගියේය. ඇය ආර්කේඩ් පරිශ්‍රයේ බංකුවක තවත් මිතුරියක් සමඟ සිටිනු දුටු මම ඒ දෙසට ගියෙමි. මට පිටුපා සිටි ඇයට මා පැමිණි බව කපටි සිනාවකින් ඇගේ මිතුරිය දන්වා සිටියාය. මා දෙස හැරී බැලූ ඇය, ", ඔයා ආවද, මේ අරුණි, මං වැඩකරන තැනමයි වැඩකරන්නෙ, අරුණි, මේ මගේ මල්ලි කෙනෙක්, මං ඔයාට කිව්වෙ". "ඈ!, මෙච්චර මාස ගාණකට මට කතා නොකරපු එකීට මාව හදිස්සියේම මල්ලි කෙනෙක් වුණේ කොහොමද!", මා දෙස සිනාසී බැලූ අරුණි දෙස බලා මද සිනහවක් පාමින් මම කල්පනා කලෙමි. අනෙක් අතට ඊයේ ගෙදර යාමට සිටි ඇය මා උදෙසා කොළඹ නතර වූවා යැයි සිතීමට තරම් මගේම උප විඥානය මට බලපෑම් කරමින් සිටියේය.


"මේ, මෙතනින් නිදහස් චතුරස්‍රයට යන්නෙ කොහොමද", "යන්න දෙයක් නෑ, ඔය එහා පැත්තෙ තියෙන්නෙ, යමු", මම කීවෙමි. ඇයත්, අරුණිත් සමඟ මම නිදහස් චතුරස්‍රය දෙසට පිය මැන්නෙමු. අර්කේඩ් සිට ඇති කුඩා බිම් කඩින් ඇවිද යන විට, "ඔයා මොනවද කරන්නෙ මල්ලි?", "මම එක දෙයක් කියලා නෑ අක්කෙ, නාවල කැම්පස් එකේ ඩිග්‍රි එකක් කරන ගමන්ම ජොබ් එකත් කරනවා, අද නිවාඩු", "හොඳයිනෙ!", අරුමක්කාරිගේ මුහුණේ එය අසා ප්‍රශංසාත්මක සිනහවකි. "ඔය දෙන්නා ප්‍රයිවට් ෆර්ම් එකකනෙ වැඩ කරනවා කිව්වෙ", "ඔව්", "මොනවද කරන්නෙ?", "ෆයිනෑන්ෂල් සයිඩ් එක තමා, මුල්ම දවස් වල සල්ලි ගනින එක තමා අමාරුම, පොඩ්ඩක් එහෙ මෙහෙ වුණොත් ඉවරයි, සැලරි එකෙන්නෙ යන්නෙ", "ඔව් නේද!", අරුණිත් මමත් මෙලෙස බොහෝ දේවල් කතා කලද අරුමක්කාරි කිසිත් නොවිමසීම ගැන මට පුදුමයක් විය. නිදහස් චතුරස්‍ර භූමියේ සෙමින් වාඩි වූ අපි ගැන මද වේලාවක් යන විට අරුණිට ඉවෙන් මෙන් දැනුණු බැවින්, "එහෙනම් මල්ලි මම යන්නත් ඕනෙ, ඔයා ඉන්නවනෙ නංගි", "අනේ , ඇයි දැන්මම යන්නෙ?", "යන්නම ඕනෙ නංගි, අද අම්මා විතරයි ගෙදර", "හා, යන්න එහෙනම්", මානුශීය සිනහවකින් අරුණි දෙස බලා සිටි ඇය දෙස මම ඉතා කැමැත්තෙන් බලා සිටියෙමි. මද වේලාවක නිහඬතාව බිඳිමින් මා දෙස බැලූ ඇය "මට කියන්න දෙයක් තියෙනවා මල්ලි", "කියන්න". මහත් ඕනෑකමින් මා දෙස බලමින්, "ඇයි දැන් ඔයා ඉස්සර වගේ නැත්තෙ, මාත් එක්ක හිනා වෙන්නෙත් නෑ, කතා කරන්නෙත් නෑ, එදා වෙඩින් එකට ආවා, මාස ගාණකින් දැක්කෙ, අඩු තරමින් මං දිහා බැලුවෙවත් නෑ, මට ඔයාගෙත් එක්ක කිසිම අප්සට් එකක් නෑ, මං ඔයාට ඒ දවස් වලම කිව්වනෙ මල්ලි, මේක කවදාවත් වෙන්නෙ නෑ කියලා, මටත් ඔයාව එපා වෙලා හිටියෙ ඔයා මාව කෙයා කරන්නෙ නැති නිසා, ඒකයි මං ඊයෙ එහෙම කරේ". මම ඇය දෙස උපේක්ෂාවෙන් බැලිමි. මම මෙලෙස හැසිරීම ගැන මට මං ගැනම විටෙක කලකිරීමක් ඇතිවූ අවස්ථාද ඕනෑතරම් තිබුණි. එහෙත් කරන්නට දෙයක් නැත. මම කිසිත් නොදැන ඇයට කැමැති නොවී සිටීමට තිබුණා යැයි සිතුණු අවස්ථා අනන්තවත් මට උදාවුණි. මම බිය වීමි. කුළුදුලේ ඇය හා නැවතත් එවැන්නකට මම අත් පොත් තබාවි යැයි බිය නිසාම මම පලා ගියෙමි, ඇයව මග හැරියෙමි. හැඟීම් නැතිව වියලී ගිය මුහුණකින් ඇය මා දෙස බලා සිටින්නට විය. මේ කිසිවක් ඇයට කියන්නට බැරිය. මා ඇයව දුටු මොහොතේම මගේ හැසිරීමෙන් මාන්දරයාට පවා ඇය ගැන මට තිබූ හැඟීම හෙලිදරව් වන්නට ඇත. එහෙත් ජීවිතේ කිසිවක් ගැන කිසිදා පිළිවෙලකට නොසිතූ මට ප්‍රේමය ආගන්තුක විය. ගැහැනු ළමයෙකු හා ආදරයෙන් බැඳීම වගකීම් සහගත බොළඳ ක්‍රියාවක් ලෙස සැලකීමට මගේම හැඟීම් රැල හැමවිට මට බල කරේය. එසේ බැඳීම් ගොන්නක සිරවීම හෝ බිරිඳක්, පවුලක්, දරුවන් යන දේ සියල්ල මට හුදෙක් කලාත්මක සංකල්ප සමූහයක්ම මිස සත්‍ය ලෝකයේදී කමකට නැති ජීවිතයක සෙවණැලි රූපම, කැටයම්ම විය. නිදහසට ඇති කැමැත්ත තරම් කිසිවක් මා හට ඇබ්බැහි නොවෙන බව මට දැනී ගොස් තිබිණි. දර්ශීය තනිකඩ ජීවිතය සම්පූර්ණ වීරත්වයෙන් ඇදහීමට මම ආශා කලෙමි. මට තිබුණේ එසේ මූර්තිමත් වූ ජීවිතයක් වූවද හෘද සාක්ෂිය සමඟ සටනේදී සෑම විටම මම පරාජයට පත්වීමි. "ඔයාව අද වුණත් අහම්බෙන් හම්බුණ එක මිසක් නැත්නම් ඇත්තටම මට ඔයාව එපා වෙලා හිටියෙ", "මං ඒක දන්නවා", නැවතත් ඇය මා දෙස බලාගෙන ය. "එහෙනම්", "මට ඉස්සර වගේ ඔයා එක්ක යාළුකමක් වත් තියාගන්න උවමනාවක් නෑ, මට තේරෙන්නෙ නෑ ඇයි කියලා, අනේ මන්දා", බලාපොරොත්තු නැති හැඟීමකින් මම කියාගෙන ගියෙමි. "ඔයාගෙ හිතේ වෙන කෙනෙක් ඉන්නවද දැන්?", මම හිස සැලීමි. "එහෙනම් ඇයි මාව දැන් කෙයා කරන්නෙ නැත්තෙ". එක එල්ලේ ඇගේ ඇස් දෙස බැලීමට ආත්ම ශක්තියක් මට ඒ වනවිට නොතිබුණි. ඇගේ දෙගිඩියාවෙන් ඇඹරෙන දෙ අත් දෙස බැලූ මම, "මං තාමත් ඔයා ගැන හිතන නිසා", "ප්ලීස් මාව තේරුම් ගන්නකො, මට ඔයා ගැන කවදාවත් එහෙම හිතන්න ඕනෙ නෑ", "මට ඕනෙත් නෑ, ඒත් මට ඒක නවත්වගන්නත් බෑ, මට ආසයි නවතින්න, මටත් ඕනෙ නිදහස් වෙන්න", "ඒත් මට ඔයාව එහෙම නැතිකරගන්න ඕනෙ නෑ, යාළුවෙක් විදිහට වත් ඉන්න, ප්ලීස්", "මට බෑ, මට දැන් ගොඩක් මහන්සියි", "ඇයි ඔච්චර මුරණ්ඩු", "මට ඔයාගෙන් අහන්න තියෙන්නෙත් ඒකම තමා", "ඉන්නවකො මං ගෙදර හැමෝටම කියනවා තමුසෙ ගැන", "මොනවද කියන්නෙ", "මට කරදර කලා කියලා". මට එකපාරටම හිනා ගියේය.


"මොකද ඒ පාර තමුසෙ හිනාවෙන්නෙ?", "මං ආසයි ඔයා මට රවනවා බලන්න", මම සිනහවෙන්ම කියාගෙන ගියෙමි. ඇය හැඟීම වෙනස් නොකරම ඉවත බලා ගත්තාය. "කුණාටුවක් වගේ", "කවුද?", "ඔයා", ඇය විමසුම් දෑසින් මා දෙස බැලීය. "මොකද මේ කුණාටුවට විතරයි පුළුවන්, මාව මේ විදිහට අවුල් කරන්ඩ", "ඔය බලන්ඩකො ඉතින් කියන දේවල්, ෆිල්ම් එකක වගේ", "ඔව්", මම සැහැල්ලුවෙන් හිස සැලීමි. "මේක වෙන්නෙ නෑ හලෝ, තේරුම් ගන්නකො", "මොකද්ද?", "ඔයාට ඉතින් විහිළු!", "ඇයි මට කොච්චර දේවල් වුණත් ඔයාව එපා වෙන්නෙ නැත්තෙ?", "මං යනවා අප්පා!", "මේ, පරිස්සමින් යන්න", ඇය මා දෙස හැරී වත් නොබැලීය. ඒ අරුමක්කාරිව මා දුටු අවසන් අවස්ථාවයි. එතැන් පටන් ඇයව නැවත මුණ ගැසුණේ නැති වූවත් අවුරුදු එක හමාරකට පසු ඇය විවාහ වූ බව අසන්නට ලැබිණි. එතැන් පටන් ඒක පාර්ශවික "ආදරය" දොරඟුළු ලමින් මගේ හිතේම හිරකරන්නට මම පුරුදු වීමි.



පසු සටහන
--------------------------------------------------------------------------------------------------------------------------

ගොඩක් දෙනෙක්ට මේ කතාව තේරෙන එකක් නෑ, ඒත් ඒ ගැන සවිඥානිකව තේරුම් ගන්න පුළුවන් වෙන්න ආදරය ගැන පුංචි දේවල් ටිකක් ලියන්නම්. "ආදරය" කියන්නෙ අකුරු හතරක් විතරයි. කටින් කිව්වොත් නම් වචනයක් විතරයි. ආදරයේ ප්‍රභේද නැහැ. එහෙත් බොහෝ මිනිස්සු සැලකිලිමත් භාවයකට පත්වෙන්න තියෙන මිනිස් අවශ්‍යතාව ආදරය කියලා අර්ථ දක්වාගෙන ඉන්නවා. ඒකෙ වරදක් නෑ. එහෙත් ඇත්තටම ඒක මිනිස් හිත කොන්දේසි විරහිතව ක්‍රියාත්මක වෙන අවස්ථාවක්. කිසිම ලෝභයක්, ද්වේශයක්, මෝහයක් නැතිව ක්‍රියාකිරීම තමා ඒකෙ මූලධර්මය. ආදරයක් ක්‍රියාත්මක කරන පුද්ගලයා තමා කියන සාධකයෙන් අයින් වෙලයි ඒක කරන්න ඕනෙ හරිම විදිහට නම්. ඒත් පුහුදුන් මනුශ්‍යයෝ අතින් එවැනි හැඟීම් ක්‍රියාත්මක වෙන අවස්ථා හරිම අඩුයි. මිනිස්සු තමාගේ චිත්ත පීඩා දුරුවෙන්න හෝ දුරුකරගන්න කෙනෙක්ගෙන් ආදරය ලබන්න හෝ කෙනෙක්ට ආදරය කරන්න අවශ්‍යයයි. එතෙන්දි ඇත්තටම පුද්ගල සංඛ්‍යාවක් කියන්න බැහැ. නමුත් ඇතැම් පිරිස් ඉන්නවා ජීවිත කාලය පුරා බැඳෙන්නෙ එකම එක්කෙනෙක්ට විතරයි. ලෝකයේ බොහෝ කාලයක් පවතින්නෙ හිමි කර නොගත් ආදරය යි. ආදරය පරිපූර්ණත්වයට පත් වෙන්නෙ නිර්වාණයේදි විතරයි. එතෙක් ආදරය අර්ථ දැක්වීම ඇත්තෙන්ම බොළඳ ක්‍රියාවකැයි අපි විශ්වාස කරමු!

- පුරවර ප්‍රවාද, "වැලන්ටයින් ආදරවන්තයින්ගේ දිනය" සමරන සුවහසක් ප්‍රේමවන්තයින් වෙනුවෙන්ම! -

 "STORIES END, BUT LOVE STORIES DON'T"


No comments:

Post a Comment

නිදහසේ ශිල්පය ගැන තෙල් කතාවක්..! A story of unity & love, for new state university candidates and freshers

Location - Department of Mathematics, University of Colombo මේක අළුත් බලාපොරොත්තු දළුලන කාලයක්. එක පැත්තකින් 2018 අවුරුද්දෙ උසස් පෙළ ව...