Monday, February 5, 2018

උඹ උඹේ අම්මට ආදරේ ද? 70th Independence, Sri Lanka

Image result for 70th independence day of sri lanka

ජාතියක් වශයෙන් අපි සමරන්නේ 70වෙනි නිදහසයි. එය සෑම නිදහස් දිනයකටම අපි ඕනෑ තරම් අසන සම්මත කතාවයි. වෙනස් වන්නේ ඉලක්කම් පමණකි. අපිට හැමදාමත් කියන කතාව අදත් ඔබට කීමට සිදුවේ. 1948දී නිදහස ලැබීමේ සිට මේ දක්වා ගෙවී ගිය වසර 70ක කාලය ඉතා කෙටි කාලයකැයි කිසිසේත් නොසිතන්න. මක් නිසාද යත් බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාව පරිපූර්ණ වශයෙන් යටත් විජිතයක් ව පැවති කාලය වසර 133කට වඩා මඳක් වැඩි වූවත් අපි එම සම්පූර්ණ කාලයෙන්ම අර්ධයකටත් වඩා දේශපාලනිකව නිදහස් රටක් ලෙස ගෙවා දමා ඇති නිසාවෙනි. අපි පක්ෂ දේශපාලනය යනු දේශපාලනය යැයි අපිටම කියාගන්නා ජාතියකි. එහෙත් ඇත්ත කතාව එවැනි බෙදීමක් මේ රටේ ඇත්තටම නැති බවයි. බ්‍රිතාන්‍යයේ කිසිදා මිනිසුන් පක්ෂ වලට බෙදී අරෝවන් විසඳාගන්නේ නැත, නෙදර්ලන්තයේ කිසිදා මහජනයා පක්ෂ වලට බෙදී ගැටුම් ඇතිකරගන්නේ නැත, පෘතුගාලයේද එසේ ය. කුමනාකාරයේ හෝ ගැටුමක් ඇති වූවත් ඒ සමස්ත රටටම බලපාන දේශපාලනික කාරණාවකදී පමණි. ඒ රටවලට කිසිදා වෙනත් රටවල් දේශපාලනික, ආර්ථික හෝ සමාජයීය ඇඟිලි ගැසීම් කරන්නේ නැත. ඒ එම රටවල් ලෝකයේ බලවත් රටවල් නිසාවෙනි. එබැවින් කුමන හෝ විරෝධතාවක් ඇතිවන්නේ රටේ සමස්ත මහජනයා අතරින්ම මිස බාහිර පාර්ශවයක මැදිහත්වීමෙන් නොවේ. බල තුලනයක්, ලෝක බලයක් නැති ශ්‍රී ලංකාවට එසේ නොවේ. අපිට විදෙස් ඇඟිලි ගැසීම් වැඩිය, බලපෑම් වැඩිය, කුමන්ත්‍රණ වැඩිය. එවැනි තත්ත්වයක් යටතේදී පවා රටේ මෑත කාලීනව ගැටුම්කාරී තත්ත්ව ප්‍රබල ලෙස නිර්මාණය නොවීමට මූලික හේතුව අපේ මිනිස්සුන්ට ඉතා ඉක්මනින් සෑම දෙයක්ම අමතක වීම යැයි අපි විශ්වාස කරමු. එබැවින් ඒ අමතකවීමට අපි දේශපාලනික වශයෙන් කැමැතිය. මේ රටට දේශපාලන පක්ෂ අවශ්‍ය ඇයි දයි යන කාරණාව පවා අපිට ඇත්තෙන්ම ප්‍රශ්නකාරී ය. එය සුළුතරයක් පාලක පන්තියේ අභිවෘද්ධිය උදෙසා බහුල ලෙසම ක්‍රියාත්මක වූවා මිසක මහජනයා උදෙසා ක්‍රියාත්මක නොවූ බව දත යුතුය. මේ රටේ පැරණිම පක්ෂය ශ්‍රී ලංකා සමසමාජ පක්ෂය යි. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනතුරුව පක්ෂ ලෙස මෙරට ක්‍රියාකාරී දේශපාලනයේ වැදගත්, පෙරලිකාර සිදුවීම් හා සම්බන්ධ වෙමින් ඉදිරියට එන අතරතුර 1971දී මාක්ස්වාදී කොමියුනිස්ට් ප්‍රකාශනය ක්‍රියාවට නැංවීමේ අදිටනින් මහා කැරැල්ලක් මෙරට ක්‍රියාත්මක විය. කැරැල්ල පාවාදීමකින් ව්‍යර්ත කෙරිණි. එහි ඇත්ත නැත්ත කෙසේ වූවත් ජනතා විමුක්ති පෙරමුණ කරලියට එන්නේ ඒ සමඟය. එතැන් පටන් ගෙවී ගිය වසර 45ක කාලය පුරාවට ජවිපෙට මෙරට තුන්වන බලවේගය ලෙස සිටීමට හැකි වූවත් කිසිදා රටේ ආණ්ඩු බලය ලබා ගැනීමට නොහැකි විය. එය තව බොහෝ කලකට හැකි වේ යැයි සිතිය නොහැකියි. ඒ කිසිදා ජවිපෙ ප්‍රතිපත්තීන් මෙරට බහුතර ජනතාව පිලිගන්නේ නැති නිසාය. එබැවින් ඒ සඳහා වම, දකුණ මැද ලෙස බෙදී කතන්දර කීමේ තේරුමක් නැත. ආකල්පමය වෙනසක් නැතිව මේ රට අපි ඔබ සියළු දෙනා මැරෙන තුරාවට සංවර්ධිත රටක් බවට පත් නොවේ. එය අධ්‍යාපනය හරහා සිදු කල හැකි වූවත් එය හුදෙක්ම දීර්ඝ කාලීන විසඳුමක් මිසක ආසන්න කාලයේදී බලපෑමක් සිදු කල හැකි දෙයක් නොවේ.

අපි කතාකරන්නේ වමට බරව යැයි ඔබ සිතන්නට පුළුවන. එය එසේ නොවේ. අපි දක්ෂිණාංශික හෝ වාමාංශික වීමේ තේරුමක්, මානුශීය බලපෑමක් අපිට වැදගත් නැත. අපිට අවශ්‍ය රටේ මහජනතාවගේ ක්‍රියාකාරී බල පෙරලියකි. මහජන මතයක් හරි හැටි මතු නොවෙන ඕනෑම අවස්ථාවක වාසිය යන්නේ රටේ පාලක පන්තියටයි. රටක නිෂ්පාදකයෝ වන්නේ වැඩකරන ජනතාවයි. එනම් රටේ ශ්‍රම බලකායයි. එබැවින් පාලන තන්ත්‍රය ඇත්තේ රජය අතේ නොව මහජනතාව අතේ ය. ශ්‍රී ලංකාව ආසන්න වසර 10-15 ඇතුලත කිසිසේත්ම සංවර්ධිත රටක් බවට පත් නොවේ. ඒ අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් හරි හැටි ක්‍රියා නොකරන නිසා ය. මූල්‍ය ආර්ථික ක්‍රමවේදයක් හරහා මෙරට සංවර්ධිත රටක් බවට පත්කල හැකි යැයි සිතිය හැකි වූවත් අපි ට්‍රිලියන 11ක් ලෝකයට ණය බව මතක් කර සිටිමු. එබැවින් මේ රට දුවන්නේ ලෝකය අතේ ය. ලෝකය කියන විදිහට ඉන්නට සමහර අවස්ථා වලදී අපට සිදුවේ. මෑතකදී ලැබුණු ජීඑස්පී ප්ලස් බදු සහනය අවලංගු වූ බව අසන්නට ලැබුණි. ඒ අපි ලෝකයට ඕනෑ ආකාරයෙන් නොසිටි නිසා ය. මෙරටට තේ අපනයනය වෙනුවෙන් ආර්ථික සම්බාධක පැනවූයේ ප්‍රමිතිය සම්බන්ධ ගැටළුවක්(කුරුමිණියෙක්) නිසා වූවත් එයත් අපි ජාත්‍යන්තරයට ගිය සිදුවීමකි. මෙරටට විදේශ විනිමය ගෙනෙන්නේ මිනිසුන් ය. ඒ විදේශ සේවය ඔස්සේ ය. අපිට ප්‍රධාන ආර්ථික භෝග තුනකි. ඒ තේ, පොල් රබර් ය. තේ වලින් ලැබෙන විදේශ විනිමයෙන් තුනෙන් එකක් වත් රබර් හා පොල් වලින් නොලැබේ. එබැවින් අනෙකුත් භෝග ගැන කතා කිරීමට දෙයක් නැත. ඇඟළුම් අපනයනයෙන් මෙරට ඉතා ඉහල තැනක ඉන්නා බව අපි කිව යුතුය. එහෙත් ඒ කිසිවක් විදේශ සේවයෙන් ලැබෙන් විදේශ විනිමයට කිසිසේත්ම ආසන්න නොවේ. ඒ සියල්ල දෙස බලා සිටින විට අපිට සිතෙන්නේ රට ගෙනියන්නේ විදේශ ණය හා මිනිස් ශ්‍රම වෙළදාමෙන් බව ය. අපි මේ රටට ආදරය කිරීමට අවශ්‍යම කාලය මෙය යැයි අපි යෝජනා කර සිටිමු. ඔබ ඔබේ මවට ආදරේ දැයි අපි මුලින් ඇසුවේ ඒ නිසා ය. අම්මලාට ආදරේ කරන දරුවන් රටට ද ආදරය කරන සංවර්ධනාත්මක සන්දර්භයක් තැනීමට අපි ආශාවෙන් බලා සිටිමු. අධ්‍යාපනය යනු මේ සියල්ල ගොඩනැගීමට අවශ්‍ය ආකල්ප මිනිසුන් තුල ස්ථාපනය කරවීම බව අපි විශ්වාස කරමු. එය රටක වඩා සංකීර්ණතම කාර්යභාරය යි. එහෙත් මෙරට පක්ෂ දේශපාලනය කිසිදා අපි කියනා මේ කතාන්දරය සත්‍යයක් වීමට ඉඩ දුන්නේ නැත. ඒ ඒ ඔස්සේ මිනිසුන් රැවටීමට පහසු නිසා ය. අපේ රටේ උගත් මිනිසුන් රැවටෙන ආකාරය දකින් විට නොදැනුවත්කම, නූගත්කම නිසා රැවටෙන ආකාරය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේ වූවත් එය සමාජ අධ්‍යාපනය ගැන ගැටළුවකි. එයට වක්‍රව උගත්කම සම්බන්ධ වූවත් එය මූලිකම කාර්යය නොවේ. පලමු කාරණාව ආකල්පයි. පක්ෂ දේශපාලනය ඔස්සේ මිනිසුන් තමාගේ ස්වාධීන ආකල්ප හා මතවාද ප්‍රකාශ කරනු ඇතැයි සිතිය නොහැකියි. එබැවින් පක්ෂය යනු පැහැදිලිවම උගුලකි. අපි අවුරුදු 70ක් පැටලී සිටියේ ඒ උගුලේ ය. තාමත් එසේ ය. අපි මේ රටේ දේශපාලන පක්ෂ තනි කල යුතුය. හුදෙකලා කල යුතුය. වෙන්නේ නැත්තේත් එයම ය.

Related image
https://www.news.lk/media/k2/items/cache/e4f32ff9687f11eb66975bf6bd139236_XL.jpg

අපි රටක නිෂ්පාදන බලපෑම ගැන සිතිය යුතුය. අපේ රටේ ඒ ක්‍රියාදාමය ගැන සිතිය යුතුය. ශ්‍රී ලංකාව යනු කිසිදා සංවර්ධනය කල නොහැකි රටක් නොවේ. මේ රට බලහත්කාරයෙන් තමා තමාවම විලංගු දමාගෙන සිටින රටකි. අපිට අත් හොල්ලන්ට බැරි ඒ නිසා ය. බහුතර ජනතාවගේ පැවතුම් ජීවනෝපාය බලපවත්වන්නේ එදිනෙදා ජීවත් වීම සඳහා පමණි. ලැබුණු ජීවිතය ගැන සෑහීමකට පත්වීම මේ රටෙදී නම් ඇත්තෙන්ම මුලාවකි. නැතිනම් උමතුවකි. එසේ නැති නම් බොහෝ දෙනා සිටින්නේ නොසෑහීමෙනි. එය අපේ රටේ සම්මතයයි. මානසික ආතතියෙන් සිටීම අපිට හොඳින්ම හුරු ක්‍රියාවයි. අපි ඇති තරම් වෛර කරමු, කුහකකම් කරමු, ඊර්ෂ්‍යා කරමු, අවසානයේ මෛත්‍රී ද කරමු. අපි මෛත්‍රී කරන්නේද, මිනිසුන්, මිතුරන් ඇසුරු කරන්නේද මානසික ආතතියෙන් මිදීමට ය. අපි කතා කරන්නේද ආතතිය නැති වෙන දේවල් ය. එබැවින් අපිව මුලාකිරීම මේ රටේ දේශපාලකයාට පහසු ය. ඔබ කොතරම් උගතෙක් වූවත් රැවටෙන්නේ ඒ නිසා ය. ඔබට සතුටින් සිටීමට අවශ්‍ය නම් එකම විසඳුම යුරෝපා, රුසියා හෝ ඕස්ට්‍රේලියානු රටක ස්ථිරවම පදිංචියට යාමයි. එහෙත් බහුතර ශ්‍රී ලාංකිකයෝ වාසනාවන්තයෝ නොවේ යැයි සමහර විටක සිතෙයි. අපි ඉන්නේ බුදුන්ගේ දේශයේය, වැඩිපුරම ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින්නේ මේ පින් බිමේ ය, වැඩියෙන්ම බණ අසන්නේ, සිල් ගන්නේ මේ රටේ ය. එහෙත් අපි ඉන්නේ සතුටින් නොවේ යැයි අපි කියනා මේ තිත්ත ඇත්ත කරුණාකර තේරුම් ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු. අපි නැවත නැවතත්, නැවත නැවතත් මේ කැරකෙන්නේ එකම චෛත්‍යය වටේ ය, පල්ලිය වටේ ය, කෝවිල වටේ ය. අපේ රටේ ආගම ද දේශපාලනයකි. එබැවින් අපිට ඇත්තේ සරල හිත් පීඩා නොවේ ය. අපි පන්සලට, පල්ලියට, කෝවිලට යන්නේ එසේ මෙසේ හිත් පීඩා ගැන කීමට නොවේ ය. අපල දුරු වීමට ය, තවකෙකුට පොල් ගැසීමට ය, ආත්මයේ ඇති හිස් කම පුරවා ගැනීමට ට්‍රෙන්ඩ් එකට ය(බොහෝ විට පන්සලට යන දේශපාලකයා). ඒකත් හිත් පීඩාවකි. දේශපාලනයෙන් මිදීමට අපේ රටේදී ආගමටවත් බැරිය. මේ රට මහා අවුලක් යැයි අපි නැවතත් කියන්නේ එබැවිනි. අපේ රටේ සියළු දෙනා එක්වී රට හැදීමට යයි. කිසිවෙක් තම තමා තනි තනිව මානසිකව විප්ලවයක් කල යුතු යැයි නොසිතයි. විප්ලවයක් ආරම්භ කල යුතු වන්නේ තනි පුද්ගලයෙකුගේ මනසේ ය. ධෛර්යවන්ත එක් පුද්ගලයෙක් අවසානයේදී බහුතරයක් බවට පත්වේ යැයි අපි අසා ඇත්තෙමු.

මේ රටේ නිදහස් සෞඛ්‍යයක්, නිදහස් අධ්‍යාපනයක් පවත්වන ආකාරය ගැන අපි නැවතත් සිතා බැලිය යුතුය. ඒ සියල්ල ක්‍රියාත්මක වන්නේ ඔබෙන්, මගෙන් අපි සියළු දෙනාගෙන්ම අයකරගනු ලබන බදු මුදලිනි. එබැවින් ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල් වල ක්‍රියාත්මක වන වෛද්‍ය සේවය, රාජ්‍ය අධ්‍යාපනය මේ රටේත් ක්‍රියාත්මක වීමට නම් එය පාලන තන්ත්‍රයේම ඇතිවන ප්‍රතිපත්තිමය තීරණ මත වෙනස් කිරීම හෝ දේශීය ආදායම් ලෙස අයකරගනු ලබන බදු මුදල් ඉහල දැමීම විනා වෙනත් විකල්පයක් අපිට නැත. අපි දුප්පත් රටකි. එයට වසර 70කට පෙර ශ්‍රී ලංකාව දේශපාලන නිදහස ලබා ගත් මොහොතේ පටන් මේ දක්වා රට පාලනය කල සියළු පාලකයන් තනි තනි වශයෙන් මෙන්ම සියළුදෙනා එක්ව ද වගකිව යුතුය. මෙරට අද වන විට ඩොලර් බිලියන ගණනක් විදේශයට ණය වූවද මෙරට එක ඩොලරයක් වත් එසේ ණය නොවූ කාලයක් මේ රටේ පැවති බව ඔබට මතක් කර සිටිමු. ඇමෙරිකානු ඩොලරය රුපියල් 2.65කට තිබූ කාලයක් තිබූ බව අපි මතක් කර සිටිමු. ජපාන යෙන් එක ශත 4-5කට තිබූ බව මතක් කර සිටිමු. එබැවින් ඒ සියල්ල මේ රට බාරගත් දේශපාලන උන්මත්තකයන්ගේ වරදින්ම විනාශයට පත් කරනු ලැබ තිබේ. මේ රටේ මිනිසුන්ට ඇත්තේ පස්සෙන් එලව එලවා එන අවාසනාවකි. මක් නිසාද යත් බහුතර ජනයාගේ චින්තන දුප්පත්කම විසින්ම තෝරාගනු ලබන පාලකයාගේම ගොදුරක් වීමට ඔවුනට සිදුවීමයි. අපිට ඇත්තේ සිතුවිලි වල දිලිඳු බවකි, ආකල්ප වල දිලිඳු බවකි. අපි අපි ජීවත්වන සමාජයේම අසාධාරණ ලෙස ශ්‍රම ගොදුරක් බවට පත්ව සිටින බව අපි කිසිදා තේරුම් නොගන්නේ ඇයි. මේ රටේ පාලක පන්තිය විසින් ඔබේත්, මගේත්, සමස්ත ශ්‍රම බලකායේ වටිනා ශ්‍රමය හූරා කමින් සිටින බව අපි සත්‍ය වශයෙන්ම තේරුම් නොගන්නේ ඇයි. නැවත නැවතත්, නැවත නැවතත් අපි අපිම ආයෙ ආයෙම මේ 70 වසර පුරාවටම උන්ගේ රඟපෑම් වලට හසු වූ බව පිලිනොගන්නේ ඇයි. මැතිවරණයක් මැතිවරණයක් පාසා ඔවුනොවුන් එක වී අපි අපි බෙදී වෙන්වන ලෙස බොරුව වපුරමින් සිටින බව අපි තේරුම් නොගන්නේ ඇයි. රැවටීම් වලින් නිදහස් වීමේ මානුශීය උවමනාවක් ඔබට, මට අනාගතයේ අපේ දරුවන්ට ඇති කරවීමේ අවශ්‍යතාවක් අපිට නැත්තේ ඇයි. ඒ අපි ජාතියක් වශයෙන් අපේ රටට සැබෑ ලෙසම ආදරය නොකරන නිසා ය. අපි අපිවම ගොදුරක් බවට පත්වී  සිටින මෘග සමාජයට වෛර කරන සන්දර්භයක් නිර්මාණය වී ඇති නිසා ය. එහෙත් ඒ වෛරය සැබෑ වෛරයක් නොවේ ය. හුදෙක්ම පාලක පන්තියේ කූඨ උපායක්ම පමණි. අපි ඉටු කරමින් සිටින්නේ ඔවුන්ගේ උවමනාවක්, ඇතැම් විටෙක ජාත්‍යන්තරයේ උවමනාවක් පමණකි. අපි වියවුල් අවශ්‍ය ජාතියක් නොවේ. අපිට අවුල් සහගත බවක් අවශ්‍ය යැයි ව්‍යාජ අර්ථ නිරූපණයන් සිදුකරනු ලබන්නේ ඔබව ආරක්ෂා කරනවා යැයි ඔබට දැනෙන මේ රටේ මෘග පාලක පන්තිය විසිනි. ඔබ අපි අසන්නේ, ඇසිය යුතු යයි සිතන්නේ ඔවුන්ගේම දේශනා ය, ඔවුන්ගේම පුරාජේරු ය, කිසිදා අපි ප්‍රබුද්ධ කතිකා වටා එක් රොක් වූයේ නැත, මේ රටේ සැකැස්ම ගැන, ගමන ගැන අවබෝධයක් ඇති මිනිසුන් වටා රැස් වුණේ නැත, අපි හැමදාමත් කලේ ප්‍රබුද්ධ මිනිසා තනි කිරීම ය, ඇත්ත පෙන්වන කලාකරුවා, මාධ්‍යවේදියා, උගතා තනි කිරීම ය. අපි හැමදාමත් මිනිසුන් පක්ෂ වලට වෙන්කර ලේබල් ගැසීමට පුරුදු වී සිටියා මිසක බුද්ධිමය කතිකාවට, සමාජයීය වශයෙන් නිරවද්‍ය මතවාදයට අත්පුඩියක්වත් ගැසුවේ නැත. ඒ අපිව පාලකයා විසින් මුරුංගා අත්තේ තැබූ නිසා ය. අපි උගත්, බුද්ධිමත් යැයි ඔවුන් අපිට කියූ නිසා ය. අපි ඉන් සතුටට පත් වූ නිසා ය. ඔවුන් අපිව හුරතල් කල නිසා ය. අපිට ටොෆී, චොකලට් බෙදූ නිසා ය. අපි තවමත් ළදරුවන් යැයි ඔවුන් සිතන නිසා ය.

Image result for politic sad of sri lanka
http://www.aljazeera.com/mritems/Images/2015/12/21/c22d959a2b54422a85bec86b17f55783_6.jpg

ඔබට කොතරම් රිදුනත් මේ කියන්නේ තිත්ත ඇත්තයි. අපි සැබෑ ලෙසම මෘග මොඩයන් බව පිලිගන්න. අපි කිසිදා අන්‍ය මත ඉවසන්නේ නැත, අනෙකා ඉවසන්නේ නැත, වැරදි පෙන්වාදීමේ දක්ෂයින් මිසක හරි දේ සමාජගත කිරීමේ දක්ෂයින් නොවේ ය. අපි අත්පුඩි ගසන්නේ, මල් මාලා පලඳවන්නේ අපේම සතුරාට ය, උත්ප්‍රේරණය කරන්නේ සතුරුකම ය, වපුරන්නේ ආත්මාර්ථය ය. අපිට අවශ්‍ය අපි සංවර්ධිත වීම පමණකි. ඔබ සුඛෝපභෝගී ජීවිතයක් ගෙවා දමන අතරතුර ඔබ සමඟ ඔබේ පාසලේ එක බත් පත බෙදාගෙන කෑ මිතුරා අන්ත දිලින්දෙකු ලෙස දිවි ගෙවනවා වන්නට පුළුවන, ඔබේ සරසවි මිතුරා තවමත් රැකියා විරහිත උපාධිධාරියෙකු ලෙස මහමග රස්තියාදු වනවා වන්නට පුළුවන, ඔබේ මවට ඕනෑම අසනීපයකදී ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව තියෙද්දී ඔබේ මිතුරා, ඔබේ යෙහෙලිය සිය මවට, පියාට නිසි ප්‍රතිකාරයක් ලබාදීමට නොහැකිව ලතැවෙනවා වන්නට පුළුවන. එය මේ සමාජ ක්‍රමයේ වරදක්ම මිස ඔවුනොවුන්ගේ දෛවය යැයි හංවඩු ගසනවා විනා අපි කිසිදා ඉන් එහාට දෙයක් සිතන්නේ නැත. අපි කියන්නේ අපි අසංවේදී කියා නොවේ ය. නමුත් අඩුතරමින් අපි මේ රටේ මිනිස්සුන්ට නිදහසේ කා බී, ලෙඩක් දුකක් නැතුව ඉන්නට පුළුවන් ආකාරයේ සමාජයීය සාධාරණයක් වෙනුවෙන් සිතින් හෝ තර්ක කල යුතුය.


Related image
https://www.newsradio.lk/wp-content/uploads/2017/02/Trains.jpg

අපි කියන්නේ කිසිදා කල නොහැකි දෙයක් ගැන නොවේ ය. අපි මෙන්ම තවත් බොහෝ නිදහස් මත ධාරීන් මේ වෙනස්කම වෙන තුරා සිය ජීවිත කාලය පුරාම ආශාවෙන් බලා සිටින්නට ඇත, අදටත් එසේ සිටිනවා ඇත, මානව ප්‍රේමී මාධ්‍යවේදීන් අතලොස්සක් අතරින් බහුතරයක් මේ මහපොලොවට පස් වන්නට ඇත. අපි නිදහස යැයි අර්ථ දැක්විය යුත්තේ මානසික නිදහසක් මිසක හුදෙක් දේශපාලන නිදහසක් හෝ රාජ්‍ය තාන්ත්‍රීය නිදහසක්ම නොවේ ය. අපිට රටේ සමස්ත ශිෂ්‍ය පරපුරට තම විභව්‍යතා ඔස්සේ ප්‍රගමනය වී රටට සේවය කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීමේ අවශ්‍යතාවක් තිබිය යුතුය. පෙර පාසලේ සිට ශිෂ්‍යත්වය තෙක් අපේ දරුවන් පුරුදු පුහුණු කරනු ලබන්නේ තරඟයකට ය. ශිෂ්‍යත්වයේ සිට අපි ඔවුන්ව ඉලක්ක කරන්නේ තමාගේ ස්වාර්ථය වෙනුවෙන් ගොඩනැගී අවසානයේදී සාමන්‍ය පෙල සමත් වීම ය. අවසානයේ උසස් පෙලින් ඉලක්ක වන්නේ විශ්වවිද්‍යාලයට ය, කාර්මික විද්‍යාලයට ය, පෞද්ගලික සරසවියට ය, එසේ නැතහොත් රැකියාවට ය. අපි කියන්නේ මේ ක්‍රමය වැරදියි කියා නොවේ ය. එය මනුශ්‍ය‍යාට දරන්නට බැරි බව පමණි. අපේ තරුණ පරපුර හෙම්බත් වී සිටින්නේ අපි හැමදාමත් දුවන මේ තරඟය නිසා ය. මෙය කිසිදාක කෙලවරක් නොවේ. අපි ද, අපේ දරුවා ද, අපේ දරුවන්ගේ දරුවා ද අනාගතයේදී මුහුණ දෙන්නේ මේ ඛේදවාචකයට ය. මේ ක්‍රමයේ වෙනසක් ගැන අපි කතා කල යුත්තේ ඒ නිසා ය. අපි සමාජයෙන් ඉවත් කල යුතු වන්නේ දේශපාලකයා යන චරිතය මිසක පුද්ගලයා නොවේ ය. දේශපාලකයා මරා දැමීම විනා පුද්ගලයා මරා දැමීමේ තේරුමක් නැත. අපි පුද්ගල බද්ධව සමාජය දෙස බැලීම නැවතිය යුතු ය. නතර කල යුතු ය. ඒ සමාජ අධ්‍යාපනය අපි මිනිසුන් අතර පැතිරවිය යුතු ය. අපි කියන්නේ ඒ අධ්‍යාපනය ගැන ය. එය අද හෝ හෙට හෝ ඉදිරි දිනකදී අනිවාර්යයෙන්ම ආරම්භ විය යුතු ය. අපි පොලිතින් කොලය, ටොෆි කොලය, බස් ටිකට් එක පාරේ විසි කිරීම නැවතීමේ පටන්ම අපේ මිනිසුන්ව වෙනස් කල යුතු ය.අපේ මිනිසුන් ශ්‍රී පාදය වන්දනා කලත් කුණු කසල ය, අනුරාධපුර අටමස්ථාන වැන්දත් කුණු ය, පල්ලි, පන්සල්, කෝවිල් කොතරම් ගියත් අපේ හිත්වල කුණු ය. එබැවින් අපි වටේ තියෙන්නේ ද ඒ කුණු ය. බොහෝ ද්‍රවිඩ මිනිසුන් දුම්රියේ යන්නේ ආසන බදු අරගෙන ය, හතරට පහට නිදාගෙන ය, ඒ බොහෝ මිනිසුන් හිටගෙන තෙරපි තෙරපී සිටින විට ය. අපි ඉලක්ක කලේ ජාතියක් නොව එක්තරා සමාජ කුලකයකි. දුම්රියේ කප්පරක් කුණු ය. දුම්රිය මග දෙපස ඊටත් වඩා කුණු ය. ඔබ නොදන්නවා වූවද කොටුව හා මරදාන දුම්රිය ස්ථානවල මහ රාත්‍රියේ දුම්රිය මග හා දුම්රිය වේදිකා පිරිසිදු කිරීමට කම්කරුවෝ බොහෝ වෙහෙස වෙති. ඒ ඔබේ නොසැලකිල්ල නිසා ය. අපි පාර දෙපස කුණු වීසි කරමු, කසල ප්‍රතිචක්‍රීකරණය ගැන අසාවත් නැති මිනිසුන් ලෙස කුණු බැහැර කරමු. එයට අපේ රාජ්‍ය මැදිහත්වීමක් නැත. කුණු කසල සම්පතක් බව අපි ඇත්තටම දන්නේ නැත.

එබැවින් අපිට මේ සියල්ල අවසනයේදී ඔබෙන් ඇසීමට දෙයක් ඇත. උඹ උඹේ අම්මට ඇත්තටම ආදරේ ද? අපි සියළු දෙනාටම නැහැයි කීමට සිදුවන ප්‍රශනයක් ගැන අපි බොහෝ දේවල් කීවෙමු. අපි බලා සිටිමු, බොහෝ ආශාවෙන් බලා සිටිමු, අපි ප්‍රාර්ථනා කරන, මේ රටේ බහුතර නිදහස් මත ධාරීන් ප්‍රාර්ථනා කරන චින්තන ප්‍රවාදය වෙනුවෙන් අපි බලා සිටිමු. අපේ පොෂ් යැයි සිතා සිටින, සමාජශීලී යැයි සිතා සිටින, සමාජශීලීත්වය පුද්ගලයා මාකට් කරන ප්‍රධානම සාධකයක් යැයි විශ්වාස කරන සමාජයේ, තරුණ පරපුරේ හිස් බව නැවත නැවත පිරවීමට අවශ්‍ය ප්‍රබුද්ධ මැදිහත්වීමක් එනතුරු බලා සිටිමු. තමා වෙනුවෙන් පමණක් ඉගෙනගන්නා, රැකියා කරන, සිනහසෙන, මොලය වෙහෙසවන, දහදිය වගුරුවන මිනිසුන් අනෙකා ගැන හිතන, අත්තටම සිතන දවසක් එනතුරු අපේ අම්මාට, තාත්තාට, බිරිඳට, පෙම්වතියට, පෙම්වතාට, දරුවාට, නෑදෑයාට පමණක්ම ආදරේ කරමු. අපි මිනිසුන් තැනිය යුත්තේ අප සමඟම ඉදිරියට යාමට නොව අප පසුකර යාමට යැයි සිතෙන සාම්ප්‍රදායික ගුරු භූමිකාව සමාජය පුරාම පැතිරෙන තුරු 70වෙනි නිදහස 170වෙනි නිදහස වන තෙක් මේ බසයේම, මේ දුම්රියේම ඉදිරියටම යමු, ජය!

- පුරවර ප්‍රවාද -


No comments:

Post a Comment

නිදහසේ ශිල්පය ගැන තෙල් කතාවක්..! A story of unity & love, for new state university candidates and freshers

Location - Department of Mathematics, University of Colombo මේක අළුත් බලාපොරොත්තු දළුලන කාලයක්. එක පැත්තකින් 2018 අවුරුද්දෙ උසස් පෙළ ව...