Wednesday, January 17, 2018

සරසවිය හා බැණුම් ඇසීමේ කලාව - අවසානය Mental cruelty of state universities of Sri Lanka

Photo credit goes to Praveen Hasaranga

අපි මේ යන්නේ බැණුම් ඇසීමටයි. ආයෙත් කියන්නම්
, අපි බැණුම් අහන්න ආස හිතෙන්න ලියන්නයි යන්නෙ. මේ දෙකක් වගේ පෙනුනත් වෙන්නෙ එකම දේ. ඒක ගැන ආයෙමත් පාරක් ටිකක් හිතලා බලන්න. මේ කියන්න යන්නෙ විශ්වවිද්‍යාල උප සංස්කෘතිය ගැන අපි ලියන අන්තිම ලිපිය ගැන. උප සංස්කෘතියක් කියන්නෙ මොකක්ද කියලා දන්නව ද. ඇත්තට ම ඒක ගැන දැනගන්න ඕනෙද. කිසිම විශ්වවිද්‍යාල පද්ධතියක රැඳෙන්න මේ වචනෙ තේරුම ගැන දැනගෙන ඉන්නම ඕනේ නැහැ. ඒක කිසිම තේරුමක් නැති දෙයක් වෙනවා ඇඟට ගත්තොත්. සරලව ම කිව්වොත් මේක එක්තරා ආචාර ධර්ම පද්ධතියක්. හැබැයි ඒක ඇතුලේ ප්‍රකට සමාජයීය හර පද්ධතියට, මානුශීය සම්ප්‍රදායන්ට ඉතා ඉහල වටිනාකමක් දෙනු ලබනවා. අපි කතා කිරීමට ඉතාමත් අකැමැති මාතෘකාවක් වුණත් සරසවිය පෙනෙන තරම් සුන්දර ව්‍යුහයක් නොවන බව වැනි පිළුණු වූ, ඕජස් හැලෙන කතාවක් ගැන සමාජයේ පූර්ව මතය ඔස්සේත් අපිට කතා කරන්නට වේවි. සියල්ල කතා කර අවසන් කිරීමට අපි ඇත්තෙන්ම කැමැති ය. අපිට ප්‍රකට ව නොපෙනුනත් සමාජයේ හැම උප ව්‍යුහයක් ඇතුලෙම තියෙන්නෙ උප සංස්කෘතියක්. ඒත් ඒවාට සමාජයීය අවධානය අඩුයි. පාසලක්, පෙර පාසලක්, ගුරු විද්‍යාලයක්, අධ්‍යාපන විද්‍යා පීඨයක්, හෙද විද්‍යාලයක් වුණත් පවත්වාගන්නෙ උප සංස්කෘතියක් ඔස්සේ බව විවෘත මනසකින් බැලුවහොත් ඕනෑම කෙනෙකුට පෙනෙන කාරණාවකි.

පාසලක් ආරම්භ කිරීමට වේලාවක් තිබේ, අවසන් කිරීමට වේලාවක් තිබේ, විනය නීති පද්ධතියක් තිබේ, කොටින්ම එයට සම්මත ව්‍යවස්ථාවක් තිබේ. මේ කාරණාව අධ්‍යාපන විද්‍යා පීඨ, හෙද විද්‍යාල මෙන්ම පෙර පාසල් වලටත් එසේම වන බව ඔබ නොදන්නවා නොවේ. ව්‍යුහාත්මකව පවතින වෙනස්කම් හැරුණු කොට අදාල පද්ධතියේ අරමුණ හා මෙහෙවර ක්‍රියාදාමය වෙනුවෙන් පවත්වාගන්නා ආවේණික සම්ප්‍රදාය ඒ ඒ කුටුම්බයේ උප සංස්කෘතිය යි. අපිට මේ දේවල් මේ විදිහට ඔබට විස්තර කිරීමේ පූර්ව අවශ්‍යතාවක් ඇතිවුණා. ගොඩක් දෙනෙක් විවේචන ඉදිරිපත් කරන්නෙ මතුවී පෙනෙන කුටුම්බයට විතරයි. ඒත් ඒකෙ ඔබේ වරදක් නැහැ. එහි ස්වභාවය එසේයි. මිනිසුන් වෙනස් කිරීමේ හැකියාවක් ඔබටවත් අපිටවත් නැහැ. එහෙත් අපිට බලපෑමක් ඇතිකිරීමට තුඩු දෙන හේතූන් වන්නට පුළුවන්. මේක විශ්වවිද්‍යාල පද්ධතියට විතරක් පොදු කාරණාවක් නෙවෙයි. රටේ බොහෝ පිරිස් දැන හෝ නොදැන ගෙනියන්නේ තම තමාගේ දෛනික ක්‍රියාවලියට පහසුකම් සපයන උප සංස්කෘතියක්. අපි විවේචනයට ලක් වෙන විශ්වවිද්‍යාල උප සංස්කෘතියවත් අනෙකුත් බාහිර සමාජයේ උප සංස්කෘතීන්වත් උපහාසයට, විවේචනයට ලක් නොකරමු. එහි කිසිම තේරුමක් නැත. උප සංස්කෘතියක් විවේචනය කිරීමේ හරයක් නැත්තේ එය එලෙස වෙනස් කල නොහැකි නිසාවෙනි. වෙනස් වීමේ අවශ්‍යතාවක් නොමැතිව, හේතුවක් නොමැතිව මෙම පද්ධතීන් කිසිසේත් ම වෙනස් නොවේ. උපායශීලීව වෙනස් කල හැකිය. එය වෙනම කතාවකි. උපායන් යොදමින් දේශපාලනීකරණය වූ සරසවි කුටුම්බ ගැන අපි හොඳාකාරයෙන්ම දනිමු. එහෙත් සමාජයේ බොහෝ පිරිස් ඒවා විවේචනය කරන්නේ ඒ ගැන සොයා බැලීම් නැතිවය, විමසීම් නැතිවය. ඒවා හුදෙක්ම පුහු මතවාද බවට පත්වන්නේ ඉන් අනතුරුවය. ඒවා සියල්ල සිදුවන්නේ අපිට අපේ අනර්ඝ සංස්කෘතිය හා සභ්‍යත්වය විසින් මතුකර දී ඇති වටිනාකම් ගැන අපි අපිම පුරාජේරු ගසන කාලයක ය. තමාට සියල්ල දේශපාලකයින් විසින් ලබා දිය යුතු යැයි සිතන මිනිසුන් අපේ රටේ ඕනෑවටත් වඩා සිටී. සියල්ල රටේ මිනිසුන් විසින් ම කර දිය යුතු යැයි සිතන චරිත ද අපි ඕනෑ තරම් දකිමු. සියල්ලට ම පසු කීමට ඇත්තේ අපි ඉන්නේ ධනවත්, සංවර්ධිත රටක නොවෙන බවය.නැවත වතාවක් කිව යුතුය. අපි අපිව හෝ අපේ ප්‍රතිවාදීන්ව හුරතල් නොකරමු. එය කිසිසේත්ම අපේ ක්‍රමය නොව එය ප්‍රතිගාමී පුද්ගල නටඹුන් සතු වන බැවිනි. කෙසේ හෝ අපි ඉන්නා රට සංවර්ධනය නොවන්නේ ඇයි දැයි ඔබ දන්නවාද! හේතුව එය සංවර්ධනය නොවෙන නිසාය. එය 2015න් පසු නැවතුණා යැයි ඔබ සිතන්නට පුළුවන. එහෙත් එය සංවර්ධනය කිරිම කිසිදා ආරම්භ නොකල වග අපි ඔබට මතක් කරමු. නිදහසින් පසු ශ්‍රී ලංකාව යනුවෙන් මාතෘකාවක් ඉගෙනගත්තා අපිට මතකය. ලංකාවේ නිදහස් අධ්‍යාපනය පනතක් ඔස්සේ සම්මත වනුයේ ඇත්තෙන්ම මේ රට සංවර්ධනයට අවශ්‍ය මූල බීජ රට තුලින්ම සොයා ගැනීමේ අරමුණින් ය. එය සාර්ථක කර ගැනීමේ ඊළඟ පියවර වූයේ 1978 විශ්වවිද්‍යාල පනතයි. ඒ ඔස්සේ රට පුරා ප්‍රදේශ වල විශ්වවිද්‍යාල ආයතන පිහිටුවීමත් සමඟ රටේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවට එය විවෘත වූවා යැයි කීවොත් වැරදිය. තෝරාගන්නා පිරිසක් උදෙසා එය ක්‍රියාත්මක වීම ගැන අදටත් කිසිවෙක් දොස් නගන්නේ නැත. ඒ එලෙස තෝරා ගනු ලබන්නේ නියමිත ක්‍රමවේදයක් ඔස්සේ පවත්වන විභාගයකින් හෝ ඇගැයීම් ක්‍රමයකින් ඉහලම දක්ෂතා දක්වන පිරිසක් වන නිසාය. මේ කාරණා ගැන අපි මින් පෙර කතා කර ඇත්තෙමු.


නැවත නැවතත් මේ දේවල් ගැන අපිට කතා කිරීමට සිදුවීම ගැන අපිට සතුටකටත් වඩා ඇත්තේ දුක, පසුතැවීම, හාස්‍යය හා උපහාසය මුසු හැඟීමකි. ලංකාවේ ක්‍රියාත්මක වූ  හා ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රමවේද කිසිවක් නිවැරදි නොවේ යැයි අද රටේ බොහෝ දෙනෙක් පවසයි. එහෙත් කිසිවෙක් හරි ක්‍රමයක් ගැන කතා නොකරයි. අධ්‍යාපනය වැරදි බව කියයි, එහෙත් හරි ක්‍රමවේදයක් ගැන කිසිවෙක් නොදනී. සෞඛ්‍යය ගැන කතා කරයි, වෙනස් විය යුතු බව කියයි, හරි ක්‍රමයක් ගැන කිසිවෙක් අදහසක් නොදේ. වෙළඳ හා ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරයි, එහෙත් ට්‍රිලියන 11ක් ණය ඇතිවූයේ ඇයි දැයි කියා නොසොයයි. ඒ ණය පියවූවද තවදුරටත් ණය ගැනීමට සිදුවන බව නොදනියි. මේ රට පවත්වා ගන්නේ ණය වලින් බව ඇතැම් විටෙක අපට සිතේ. මහවැලි ව්‍යාපාරය පවා යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූවත් මහවැලි ගඟ හැරෙව්වේ වැරදි පැත්තෙන් බවත් එය වයඹ හා උතුරු මැද සෘජුවම පෝෂණය කල යුතු බවත් මුලින්ම කීවේ රෝහණ විජේවීරය. එය අපේ අදහසක් නොව ඔහුගේය. එහෙත් අදටත් වයඹ හා උතුරු මැද ලක්වන මහා නියං ආපදාව ගැන සැලකීමේදී එහි සත්‍යතාවක් ඇති බව පෙනෙන්නට තිබේ. මේවා කිසිවක් වාමාංශික දේශපාලනය නොවේ ය. එහෙත් රෝහණ විජේවීර, ඇන්. ඇම්. පෙරේරා යනු මේ රටට හරි හැටි වැඩක් ගන්නට නොහැකිවූ මොල දෙකක් බව කිව යුතුය. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයින් විසින් හැරගියේ එය ධනවාදයට තල්ලු වීමට තිබූ පල්ලම අසලටම ගෙනැවිත් හමාර වූවාට පසුවය. එබැවින් අප රට ප්‍රජතන්ත්‍රවාදී ලේබලය ඔස්සේ ධනවාදී රටකි. එහෙත් කොහෙන්දෝ පැමිණි සමාජවාදී කෑල්ලක් අපේ රටේ ව්‍යවස්ථාවට ඇත. 1914 රුසියානු විප්ලවයෙන් පසු 1989 දක්වා සෝවියට් තොටිල්ල බිඳවැටෙන තෙක් මෙරටට සමාජවාදී ව්‍යාපාරයෙන් ආධාර ලැබුණු අතර චීන ජනරජය, ජපානය යුහුසුළුව උපකාර කල රටවල් අතර මේ රට ප්‍රධානය. ඒ සියල්ලට පසුත් මේ රටේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන, අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන සිතීමේදී සමාජවාදී කෑල්ල ආපු හැටි සිතාගත හැකිය. ඒ සියල්ල සොයා බැලීමේදී මේ රට පවත්වාගන්නා ක්‍රමය වැරදි යැයි අපට නොසිතේ. මක් නිසාද යත් වෙනසක් අවශ්‍ය සෑම විටකදීම අපි ජාතියක් ලෙස වෙනස් වීමු. හාස්‍යජනක කාරණාවද එයයි. පිල් බෙදෙමින් වෙන් වූවද අපි හැමදෙනාටම තිබුණේ එකම අවශ්‍යතාවකි. එනම් මැජික් අරිෂ්ඨය සොයාගැනීමයි. එවිට අපිට නොසිතූ ශක්තියක් ලැබේ. සියල්ලන් අවනත කර ගත හැකිය. පාලකයින් හා පාලන තන්ත්‍රය විසින් අපිව හුරතල් කර අපිව සනසාවි යැයි සිතීමට මෙම මැජික් අරිෂ්ඨය බිවූ පසු  අපි සිතමු. පාලකයින් හැමදාමත් මැතිවරණ සමයේදී අපිට පෙනුණේ මැජික් කරුවන් ලෙසය. මිනිසුන් ෆැන්ටසි ලෝක වල පාකිරීමේ හැකියාව ඇත්තෝ පාලකයෝ වූහ.



මැජික් වලින් රටවල් දියුණු නොවෙන බව මිනිසුන් තේරුම් ගත යුතුය. රටක් දියුණු කිරීමේ පලමු පියවර අධ්‍යාපනයයි. එය ගැන කීමට හා එය සනාථ කිරීමටය මේ තරම් අපි ඔබට මේ රටේ මේ තාක් සිදුවූ දේශපාලනික හා සමාජ පෙරළිය ගැන කීවේ. අපිට නැති දේ අධ්‍යාපනය බව අපිට කීමට සිදුවේ. අපි දුප්පත් රටක් වී ඇත්තේ රටේ මිනිසුන් දුප්පත් නිසාය. මේ රටේ බලය බෙදන්නට කතා කරන ඊනියා බෙදුම් වාදීන්ට අපේ ගෞරවණීය ස්වාමීන්වහන්සේ නමක් හොඳ උත්තරයක් දුන්හ; බලය හැර මේ රටේ සියල්ල මහජනතාව අතරේ සමසේ බෙදිය යුතුය. එහෙත් අපේ රටේ ඇත්තේ කුට්ටි ක්‍රමයකි. පවුල් කුට්ටි වශයෙන් සිටී. දේපල, මුදල් ආදිය කුට්ටි වශයෙනි. මේ රටේ කුට්ටි වශයෙන් නොදෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමණි. ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයට දැන් ඒ කුට්ටිය ආගමනය වෙමින් තිබේ. දැන් ඔබ කියාවි, ඔබ සිතාවි විශ්වවිද්‍යාල අධ්‍යාපනය දෙන ක්‍රමය හරි කියා. එය පැහැදිලි නැත. පැහැදිලි කරගත යුත්තේ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඔස්සේ ය. මක් නිසාද යත් මේ රටේ විශ්වවිද්‍යාල වල තරම් මානසික ඝාතන, මනෝමූලික ව්‍යාජ ප්‍රතිරූප මවන, කැත වැඩ සිදුවන වෙනත් රාජ්‍ය අධ්‍යාපන ආයතන නොමැති නිසාවෙනි. ඌන සම්මතයක් ෆැනටසියක් කරගෙන ඉන්නා පිරිස් වැඩියෙන්ම ඉන්නේ විශ්වවිද්‍යාල පද්ධතියේය. කාලෙකට කලින් අපේ රටේ එලෙස විශ්වවිද්‍යාල පද්ධති වල සිටි රොඩු දැන් රටේ මහ පුටු වලය. අපි ඔබට කිව යුතු නැති වූවත් මෙරට පාර්ලිමේන්තුවට හොර පාරෙන් රිංගන විෂබීජත් ඉන්නේ අපි කියනා කුලකයේ ය. සයිටම් වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමේ ව්‍යාපාරයට සිටි පැහැදිලි ප්‍රතිවාදීන් අපි කියනා කුලකයේ ය.
මේ රටේ තමන්ට ඉගැන්වූ පිනට හිලව් වශයෙන් ශිෂ්‍යයින් විශ්වවිද්‍යාල වල අන්ත දුක් විඳ ඉගෙනගන්නා බව අපි දනිමු. එහෙත් එහිදී අපි කියූ කොට්ඨාශය සරසවි කුටුම්බයට එන්නේ ඇපත් නැතුවය. මේ රටේ හැම දේම සිදුවන්නේ වාසියට ය. කෙහෙල් ගෙඩිය කා ලෙල්ල අතේ ගුලි කරගැනීමට වඩා දෙයක් දන්නා මිනිසුන් සරසවියට යා යුතුය. කාලයක් තිස්සේ සිදු වූ කැත වැඩ වල ප්‍රතිඵලයක් ලෙස මේ රටේ විශ්වවිද්‍යාල සමස්ත ප්‍රජාව ගැන රටේ පැහැදීමක් නැත. එය 1989-90 කාලේ තිබුණා මෙන් නොව සැබෑම ජනතා විරෝධයකි. වැඩියෙන්ම බැණුම් අසන ඔවුහු පසුගිය දා සයිටම් සටන තීරණාත්මක අවසානයක් තෙක් ගෙනාවෝය. එය අවසානය යැයි අපි කිසිසේත් ම නොකියමු. පසුගිය වසරේ මැද භාගයේදී දිවයිනේ බොහෝ විශ්වවිද්‍යාල ආයතන දැඩි උවමනාවකින් සයිටම් අරගලය හා එක් වී සිටි ආකාරය අපිට හොඳ හැටි මතක ය. ප්‍රබල ලෙස මූලිකත්වය ගත් වෛද්‍ය පිඨ වලට අමතරව කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, මොරටුව හා පේරාදෙණිය සමඟ අවසානයේදී කොළඹ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පවා මේ අරගල බිමට එන්නට විය. එහි ප්‍රමාණාත්මක බව ගැන අපි කිසිත් නොකියමු. කොළඹ උන් පිකටින් ගියේ සයිටම් වහන්න නෙවේ, සයිටම් ප්‍රමිතිගත කරන්න ඉල්ලා යැයි පාදඩ කතාවක් කොළඹ එකෙක්ම කියනු අපිට ඇසිණි. මේවා අපි මුලින් කියූ ජාතියේ ප්‍රතිගාමී රොඩු විශබීජ වල මුල් අංකුර ය. එය කොළඹට පමණක් අනුගත කරගත යුතු කාරණාවක් නොවේ, එය මොරටුව, ' පුර, කැලණිය හා පේරාදෙණියටත් පොදු ය. මේ රටේ සතර දෙස ඇති සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රතිබිම්බය ට රොඩු ඕනෑ තරම් එකතු වෙන බව අපි කියමු. එය එසේ කියන විට කොළඹට, පේරාදෙණියට, මොරටුවට, ' පුරට, කැලණියට ඇති අභිමානය ම ඔලුවිල් වලටත් පැතිරෙනු ඇත. ඒත් සමඟ ම අපි කියූ රොඩු විශබීජ එන්නේ ත් ඒ ආකාරයෙන් ම එකට ය. අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අභිමානය ගැන හොඳම කතාව කිව්වේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගංගානාත් දිසානායක ය. ඒ මුළු සරසවි ශිෂ්‍ය ප්‍රජාවම රටේ සමස්ත ශ්‍රම බලකායට ඇති සදාචාරාත්මක ණය බර ගැන මතක් කරමිනි. මේ රටේ ලක්ෂ කෝටි ගණන් වියදම් කර මහජනතාව විසින් ශිෂ්‍ය ප්‍රජාවට උගන්වන හැටි ගැන අපි පැණි වලලු කියවා රස වින්දෙමු. අපිට ඇත්තේ ආදරයකි. සමස්ත ශ්‍රම බලකාය උදේ සවස දුම්රිය බස් වල තෙරපෙන හැටි දුටු අපිත් ඒ ප්‍රවාහයේ ම රැඳෙන්නට උත්සාහ කලෙමු. එහි ප්‍රතිපලයක් ලෙස අපි උදේ සවස ඔවුන් විඳින දාඩිය සුවඳ මුසු කඨෝරත්වය අත් වින්දෙමු. එහි ම වරක් සරසවි නවක වදය ගැන ඔහුගේම ලිපියක් බකට් එක ගැන කියා තිබුණා මතක ය. ගවුම් කිලිටි වූ නවක කෙල්ලන් බකට් වන හැටි මෙන්ම දිව්‍ය ලෝකයේ සරුවත් හෙවත් අමෘතය හිසට වත් කර ඔවුන්ව පිරිසිදු කල හැටිත් සරසවි උප සංස්කෘතිය යැයි කීමේ අභිලාශයක් ඇත්තෙන් ම අපට නැත. අපිට කීමට ඇත්තේ ශිෂ්‍ය හැසිරීම් වල විවිධත්වයයි. එය නූතනයේදී පත්ව ඇති ආත්මර්ථය මුසු ක්‍රියාවලියට අපි අකැමැති ය. අපිට කතාව ආරම්භ කිරීමට සිදු වන්නේ එතැන් සිට ය.



අපි නොදන්නා පාදඩ දේවල් විශ්වවිද්‍යාල පද්ධතියේ සිදුවෙන බව කිව යුතු ය. ඇත්තෙන් ම ඒවා එලිදරව් කිරීමේ කිසිදු පදනමක් නැත. එය ඇමෙරිකාවේ දේශගුණය ගැන පුදුකුඩුඉරිප්පු වල සිට කතා කරනවා වාගේ වැඩකි. අපි කියනා තරඟය ක්‍රීඩා කල යුත්තේ ක්‍රීඩාගාරය ඇතුලේ සිට ය. අපි මුලින්ම කියු  අපිට නැති අධ්‍යාපනය විශ්වවිද්‍යාල වලට ද පොදු ය; එයත් සමාජයේම උප කුලකයක් වන නිසාවෙනි.

අපේ රටේ විශ්වවිද්‍යාලයට එන්නට පෙර අධ්‍යාපනය කිසිදු කමකට නැත. අපි මේ කාරණාව ඕනෑ තරම් අසා ඇත්තෙමු. එහෙත් එසේ නම් ඔබ පිළිගත යුත්තේ මේවා ඇතුලට යන උන් ද නිවැරදි මිනිසුන් වී එලියට එන්නේ නැති බව ය. මේ රටේ කුට්ටි දේශපාලනික සත්ත්වයාම විශ්වවිද්‍යාලයේදී ද ඒ ලෙසට ම ඉන්නා බව අපි අත්දැකීමෙන්ම ප්‍රකාශ කරමු. ඒවායේ උන් ගැටි ගැසෙන්නේ ඒ සහජ සමාජ පන්තියට හිලව් වන්නට ය. සරසවි ගැටි පාසල් ගැටි මෙන් සරල නැත, හුදෙක් ම ඔවුහු සමාජ පන්තියක් නියෝජනය කරති. ඔබ පිලිගත්තද නැතද සත්‍යය එයයි. ඊට හේතු කාරණා රැසකි. අපි ඔබට සරලම කාරණාව කීමට කැමැත්තෙමු. සරසවි ප්‍රේමය බොහෝ විට ඒකරාශී වන්නේ නිදහස් හැඟීම් සමුදායක් සමඟ ය. එහෙත් දැන් දැන් එය ද නිරුවත් වීමට පටන් ගෙන තිබේ. ප්‍රකට සමාජයේ සමාජ පන්ති වලින් අපගමනය වන සරසවි පෙම්වතුන් ගෙන් 20%ක් වත් ඔවුනොවුන් හා විවාහ නොවෙන බව ඔබට කීමට සිදුවේ. ස්වභාවය එයයි. ඒ සියල්ල අවසානයේ ගොඩනැගෙන්නේ අපි අර්ථ දැක්වීමට අපේක්ෂා කරන සමාජ පන්ති වටාය. ඉතින් ඒවායේ අනෙක් අන්‍යෝන්‍ය සබඳතා ගැන කවර කතා ද. අපි ඒකට ටෙලි නාට්‍ය අනුසාරයෙන් ද උදාහරණයක් ගමු, කූඹියෝ ටෙලිනාට්‍යයේ මුල් කාලයේදී ජෙහාන් ට හමු වන පැරණි සරසවි මිතුරිය ගැන ඔබට යමක් කීමට තිබේ. ඇය විවාහ වී සිටිය ද පිරිමින් ගැන සංකීර්ණ කාරණාවක් ඇය දැනගන්නේ ජෙහාන් ගෙනි. ඒ මිතුරුකමේ හැටිය. දැන් ඊළඟ කාරණාව ඇත්තේ ඈ විවාහ වූ තැනැත්තාට ඇති සල්ලිය ගැන ය. තම විශ්වවිද්‍යාල උපාධියට කිසිදු සම්බන්ධයක් නැති ඉංජිනේරු උපාධිධාරියෙකු හා ඇය විවාහ වෙයි. අපි මේ කියන්නේ කලකට ඉහත මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පැවති මිතුරු සබඳතා ගැනය. ඒ කෙසේ වූවත් ඒවා සරසවි ප්‍රේම කතා නොවේය. අංජනා සරසවියේදී ආදරය කරන්නේ ඇගේ කණ්ඩායමේ ම හික්කාට ය. එහෙත් අපි කතා කරන පන්ති බෙදීමේ න්‍යාය ක්‍රියාත්මක වෙමින් ඇය අයගේ දෙමාපියන් මාර්ගයෙන් අරවින්ද හා විවාහ වෙයි. මේ සියලු දෙනා ඔබට මට සැබෑ ලෙසම සරසවි කුටුම්බය ඇතුලේදී හමු වෙන සත්‍යම, සරල මානුශීය රූ කැටයම් ම බව කිය යුතුය. විශ්වවිද්‍යාල වලින් පිටවන උපාධිධාරියා මුහුණ දෙන්නේ පශ්චාත් විශ්වවිද්‍යාල කුටුම්බකරණ සංකීර්ණයට ය. ඒ අපේ කතාවක් නොව ජෙහාන්ගේ ය. වරක් අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න කියා සිටි පරිදිම මේ සියළු කුලකයන්ගේ සම්බන්ධයක් අවසානයේදී අපි අපේක්ෂා කරමු. මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇත්තෙන්ම අපිට පෙනෙනා තරම්, අපි පිටින් දකිනා තරම් ලස්සන නැත. මහා දැවැන්ත ක්‍රීඩාංගණ, සුවිසල් ගොඩනැගිලි, දේශන ශාලා සරසවි පද්ධතිය ලස්සන කරන බව සැබෑ ය. මහා දැවැන්ත වෘක්ෂ ලතාවන්, ස්වභාවික භූමි පිහිටීම් සරසවි ලස්සන කරන බව සැබෑ ය. එහෙත් අපි දකින විශ්වවිද්‍යාල ජීවියා ඒ තරම් ලස්සන නැත. ඌට තරම් පරිපාලන ව්‍යුහයෙන්, සමාජයෙන් පහර වදින්නේ නැතුව ඇති මේ රටේ හිඟන්නෙකුටවත්. ඉතින් මේ සියල්ල ඉවසා සිටින සැබෑ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කිසිසේත්ම ලස්සන විය නොහැක. ලස්සන ඌට කියන නම පමණකි, “විශ්වවිද්‍යාල ශිෂ්‍යයා”.



විශ්වවිද්‍යාල පද්ධතියේ හැමදාමත් සිදුවන්නේ ඛේදවාචක. රටේ පරිණත මිනිස් අවශ්‍යතා වෙනුවෙන් ඔවුනට වසර 40කටත් වැඩි කාලයක සිට අදටත් පාරට බහින්නට සිදුවී තිබේ. ඒ කතාව අන්තගාමී අදහසක් යැයි කීමට ඇඟිල්ල දික් කරන ඕනෑම පුද්ගලයෙකුට එය අපේ නාසයේ කෙලවර තෙක් ගෙනැවිත් නවත්වන ලෙස දන්වා සිටිමු. මිනිස් ප්‍රජාව ගැන අප්‍රමාණ ප්‍රේමයක් ඇති එවුන් විශ්වවිද්‍යාල වලට එන්නට ඕනෑ නැත, සෑම විටම එසේ වන්නේද නැත. අපි දකින, අපි දැක්ක අරගලය, විප්ලවය, සමාජවාදය, සමානාත්මතාවය අදටත් අපි විශ්වවිද්‍යාල පද්ධතියේ දැකීමට ආශා කරමු. අපි මනුශ්‍යත්වය බෝම්බයක් ලෙස ඒ කුටුම්බය ඇතුලේ ම පුපුරනවාට කැමැතිය. එහෙත් එය සමාජවාදයම විය යුතු නොවුණත් එය එකිනෙකා කෙරෙහි මැරෙන තුරාවට බැඳෙන ආගමික බැඳීමක් වනවාට අපි කැමැතිය. එකිනෙකා අදහන තරමේ පිවිතුරු මානසිකත්ව ඇති එවුන් අද සරසවි වල හරිම අඩු ය. උන්ගේ යටි හිතේ අදෘශ්‍යමාන කැත බලාපොරොත්තු මලු පිටින් පුරවාගෙන සිටිති. මේ සියල්ලට මේ මේ යැයි පෙන්වීමට දෘශ්‍යමාන සාක්ෂි නැතත් හද කලකිරවන පිලිකුල් සහගත ප්‍රකට සමාජයීය තරඟයට මුහුණ දී සිටින ඔවුහු පිරිසිදු හෘද සාක්ෂිය අමු අමුවේ දිය කර හරිති. අපිට පවතින ක්‍රමය වෙනස් කිරීමේ හැකියාවක් නැතත් අපිට එහි පුංචිම පුංචි හේතුවක් වෙන්න පුළුවන් වෙයි කියන අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා. මිනිසුන් අපිට ආදරේ කරන්න ඕනේ කියන එක වැදගත් සාධකයක් නෙවෙයි. මොකද මිනිස්සු හැමෝම කාගෙන් හරි ආදරේ, සැලකිල්ල ලබන්න හරිම පිපාසයකින් ඉන්නවා. අපිට ඇත්තේ අනුකම්පාවක්, කලකිරීමක්. විශ්වවිද්‍යාලයක් ඇතුලෙදි කොල්ලෙක්ට වෙන්න පුළුවන් නරකම දේ බීමට, මතට ඇබ්බැහි වෙන එක නෙවෙයි, කෙල්ලෙක් ගැහැනියක් වෙන එකත් නෙවෙයි, මැරෙන එක. විශ්වවිද්‍යාලෙට එන එකා ඉන් පිටවෙද්දි ඉන්නෙ මැරිලා නම් ඌට මේ රටාව ගැලපෙන්නෙ නැතුව යනවා. මිනිහෙක් මැරෙනවා කියන්නේ ආකල්ප මැරෙනවා කියන එක. ආකල්ප මැරෙන්නෙ නෑ, ආකල්ප මරන්න ඕනෙ. කිසිදු පොදු හැඟීමක් නැතුව උසස් පෙල කරන එකා නිකම්ම විශ්වවිද්‍යාල පද්ධතියට එන්නේ දහසක් බලාපොරොත්තු ඇතිවය. ඒ එන එකාගේ ඔළුවට දමන්නේ තනිව සරසවි අධ්‍යාපනය ලැබිය නොහැකි බව ය. ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ උද්දාමයට පත් පාදඩ වදන් අසන් ඕනෑම එකෙක් එයට එහෙයි කියනු ඇත. එහෙත් බාගෙට බාගයක් විශ්වවිද්‍යාල වල උන් ඉගෙනගන්නේ පට්ට පාළුවෙනි. 75-80% එවුන් කෑල්ලක්, කොල්ලෙක් සෙට් කරගන්නේ ඒ පාළුව යන්නට ය. එය හුදෙක් ම තෙවන වසර වන විට අනිවාර්යය කාරණාවක් බවට පත් වෙයි. තනිකඩ වූ ප්‍රජාව වැල රේට් තබති, මල් පූජා කරති, ඇඳුම් මහති, ධර්මය මෙනෙහි කරති, ජෝඩු වලට විසිල් ගහති, කුණුහරප කියති, සියල්ලෝම අවසානයේ එකට එකතු වී විනෝද චාරිකා යති, ඒවායේදී හද්දා ගොඩයෝ ෆෝම් වෙති; එහි කිසිදු වරදක් ද නැත; නිදහස් අධ්‍යාපනය එදා සිට ක්‍රියාත්මක වූයේ ගමේ ගොඩේ කොල්ලන්ට, කෙල්ලන්ටත් සරසවියේදීත්, ඉන් පිටතදීත් ආඩම්බරයෙන් විසිල් එකක්, හූවක් තියන්නට, සින්දුවක් කියන්නට පුළුවන් වටපිටාවක් සාදා දෙන්නට ය, ඊට අමතරව වෙන අප්‍රසන්නම, කැතම සිදුවීම වන්නේ පොශ් වීමට නොවිඳිනා දුක් විඳීමයි. තමාගේම සහජ අනන්‍යතාව පාළු කරමින් වැදගැම්මකට නැති සමාජශීලීත්වයන්ට ඔවුහු යටත් වෙති. කණගාටුවට කාරණාව වන්නේ සරසවි ආදර කතා, මිතුරු සබඳතා ද අද ඒ පොශ් ලේබලය ඔස්සේ කුඩුපට්ටම් වීමට පටන්ගෙන තිබීමයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා රටේ ප්‍රබුද්ධ අනන්‍යතාවක් විය යුතු බව අපි තරයේ ම විශ්වාස කරමු. එසේ නොවෙන විට තමාට කිසිදා නොගැලපුණු සම්ප්‍රදායක හිර වන ශිෂ්‍යයෝ අප්‍රමාණ මානසික පීඩාවන්ට පත් වෙති. සීමිත පිරිසක් හැරුණු කොට හුඟක් දෙනෙක් දන්නෙ නෑ මේවායේ දි ආත්මයක් මියැදෙන්න තරම් දරුණු මානසික පීඩනයන්ට, බ්‍රොයිලර් ක්‍රමවේදයන්ට උන් උන්වම පත්වෙනවා කියන එක. පීඩනයක් දරාගන්න බැරි එකා අපේ රටේ හංවඩු ගහන්නෙ පිස්සෙක්, උන්මත්තකයෙක් හැටියට. අපි නොදන්නවා වුණාට විශ්වවිද්‍යාල වල උන් මාර විදිහට පරිත්‍යාග, සමාජසේවා වැඩ කරන්නේ, අනාථ නිවාස, දුෂ්කර පාසල් වලට උදව් කරන්නෙ ඇත්තටම හිත හදාගන්න, උන් ඉන්න කියාගන්න බැරි මානසික පීඩනයන්ට හිලව් වෙන්න, හිතගන්න නෙවේ කාගෙවත්, ඒත් උන් අතරෙම ඉන්නවා පිරිසක් ඒක තමා උප සංස්කෘතිය, ඒක සමාජ මෙහෙවරක් කියලා සමාජයට මතු කරන්න උත්සාහ දරන පිරිසක්. සත්‍යය මතු කර පෙන්වීමට අවශ්‍ය නැහැ. එය හරියටම රබර් බෝලයක් වතුර යට ඔබාගෙන ඉන්නවා වගේ දෙයක්, කොච්චර උත්සාහ කරත් උඩට මතු වෙනවා. සත්‍යයට පැවැත්මක් මිසක කාලයක් අවශ්‍ය නැහැ. මතුකරලා පෙන්නන්න බැරි තරමේ ආත්මාර්ථකාමීත්වයක් ඇතැම් සරසවි ශිෂ්‍ය සහෝදර සහෝදරියන්ගේ ජීවිත වල අපි දැකලා තියෙනවා. ස්වයංසිද්ධව ආදරේ, රැකවරණය දෙන්න බැරි තරමේ ආකල්ප, හැඟීම් සමුදායක් සමහර අවස්ථාවලදී අපි දැකලා තියෙනවා. මේ රටේ පන්ති භේදය ලංකාවේ විශ්වවිද්‍යාල ඇතුලෙ නැහැයි කියන එක පට්ටපල් බොරුවක්. මොකද අපි හැමදාමත් දැකපු තුන්වෙනි පන්තිය, මැද පන්තිය, ඉහල පන්තිය හැමදාමත් අපේ ලේ වල තියෙනවා. විශ්වවිද්‍යාල වල ඉහලම පන්තිය ඇකඩමික් පන්තිය යැයි සමහරු සිතති. එහෙත් සත්‍යය එය නොවේ. එය ධනපති පන්තිය සමඟ එකතු වූ විට පමණක් එසේ වෙයි. අපි මේ රටේ ධනපතියන්ට ඊර්ෂ්‍යා කල යුතු නැත; ඔවුහු බොහෝ දෙනෙක් අපි සිටි කුලකයේම සිට ඉහල සමාජ ස්ථරයන්ට සංක්‍රමණය වූවෝ වන බැවිනි. මේ රටේ මිනිසුන් ධනවත් විය යුතු ය. එහෙත් එය පහල සමාජ පන්තිය අන්ත දුකකට ඇද දමමින් නොවෙන බව අපි තරයේම විශ්වාස කරමු. කෙසේ හෝ පරාර්ථකාමී ගති ඇති විෂයේ දක්ෂයින් නොසිටින්නට අදටත් අපේ රටේ බොහෝ දෙනෙකුට උපාධිය සිහිනයක් බව කිව යුතු ය. එහෙත් තමාට කුප්පි දමමින් විෂය පරිත්‍යාග කල උන් තඹ දොයිතුවකට ගණන් නොගෙන ඉන්නා උන් අපි ඕනෑ තරම් දැක ඇත්තෙමු. ප්‍රකට සමාජයේ කුහක, ආත්මාර්ථකාමී සම්ප්‍රදායන් විශ්වවිද්‍යාලය කැත කරන බව අවධාරණයෙන් ම කිව යුතු ය. එබැවින් තමාට ප්ලේන්ටියක් පිරිනැමීමේ සිට සටහන් ලබාදෙමින් විෂය කරුණු කියා දුන් එකා දක්වාම විශ්වවිද්‍යාලයේ සිටිනා මිනිසුන් ගෞරවයෙන් මතකයේ තබා ගැනීමට තරම් පරමාදර්ශී චරිතයක්, ස්වයං සිද්ධ මානසික සමබරතාවක් ඇති උන්ගෙන් විශ්වවිද්‍යාල පද්ධතිය ලස්සන වනවාට අපි කැමැතිය.



විශ්වවිද්‍යාලෙක ආචාර්යවරයෙක් කියන්නෙ අපි දකින හුරුබුහුටි වැදගත් මිනිස්සු ම නොවෙන්න පුළුවන්. එහෙම මිනිස්සු ඉන්නෙ හරිම අඩු ප්‍රමාණයක්. ඒත් ඒ තමා මේ රටේ ඉන්න උගත්ම මිනිස්සු. ඒ මිනිස්සු මේ රටේ ඉන්නෙ බොහෝ විදේශ රට වලින් ඔවුනට ඉල්ලුමක් තිබෙද්දි. ඒත් එහෙම රට හැරලා ගියපු විශාල ප්‍රමාණයක් ඉන්නවා කියලත් කියන්න ඕනෙ. එහෙත් ශිෂ්‍යයින්ට උගන්වන ආකාරය හා ආයතනික වශයෙන් එම පරිපාලන ක්‍රමවේදය නිවැරදි නොවෙන බව ඔවුනට නොතේරීම පුදුමයට කරුණකි. මේ රටේ විශ්වවිද්‍යාල වල උගන්වන්නේ ආචාර්යවරු නැතිනම් ශිෂ්‍යයින්ම ද යන ගැටළුව අපට ඇත. 80%ක් සරසවි සිසුන් විභාග සමත්වන්නේ කුප්පියෙනි. එය හරි උජාරුවෙන් කතා කල යුතු දෙයක් යැයි සරසවි සිසුන් සිතුවද මේවා ඛේදවාචක බව අපි මතක් කර සිටිමු. මේ ගැන අපි දන්නා දේශපාලන ඉතිහාසයේ ඊයේ පෙරේදා කතා කල පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඉගැන්වීමට ඉගැන්විය යුතු යැයි කියූ ප්‍රකාශයට අපි අත්පුඩියක් ගසමු. අපි විසිල් ගහන්නේ අදහස් වලට මිස මිනිස්සුන්ට නොවේ. ආචාර්යවරුන්ගේ ක්‍රමවේදය නිවැරදි නම් විභාග ආසන්න වන විට සිසුන් පිස්සුවෙන් මෙන් කුප්පි දැමිය යුතු නැත. 75%ක් දේශන වල කියන මොන බම්බුවක් වත් සිසුන්ට තේරෙන්නේ නැති බව අපි දැඩි විශ්වාසයෙන් කියමු. කලකට පෙර එලෙස කියන දේ යන්තම් හෝ තේරෙන විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් සිටියේය. ඒ මහචාර්ය නලින් ද සිල්වා ය. විනාඩි විස්සකට වඩා දේශනය නොපවත්වන මහාචාර්යවරයා ඉතුරු කාලය භාවිතා කරන්නේ සිසුනට පවතින දේශපාලන තත්ත්වය පැහැදිලි කිරීමට බව අපි අසා ඇත්තෙමු. එහෙත් මහාචාර්යවරයාගේ  දේශපාලනය ගැන අපි කිසිත් නොකියමු.
විශ්වවිද්‍යාලයේදී ශිෂ්‍යයෝ දේශපාලනය කරති. එහි හරි හෝ වැරැද්දක් ගැන කීමට පෙර ඔවුන් කරන්නේ දේශපාලනයම ද යැයි අපිට ඇසීමට සිදුවේ. මේ රටේ පක්ෂ දේශපාලනය තරම් පිළිකුල් සහගත මතෘකාවක්, පොදු වැසිකිලියක් අපි දැක නැත. ඒ ඔබත් අපත් මේ ව්‍යුහයේ ගොදුරක් වී සිටින නිසාවෙනි. මොලය වෙහෙසවා ලිපිකරු, බැංකු රැකියා කරන ලක්ෂ ගණනක් මිනිස්සු උදේ හවස දුම්රිය, බස් වල යන්න දාඩිය වගුරුවති. මේ රටේ මිනිස්සු ගැන අපි අපිම අනුකම්පා සහගත වෙන්න ඕනෙ. ඒ න්‍යාය නොතේරෙන මිනිස්සු පක්ෂ වලට බෙදී බහුභූත කරති, පිස්සු නටති, කොටසක් සරසවි සිසුන් ද ඒ ප්‍රවාහයේ ම ගොදුරක් බවට පත්ව සිටිති. අපිට කලකිරෙන්නේ එය උන් දේශපාලනය යැයි රැවටී සිටින නිසාවෙනි. දේශපාලනය උතුම් කර්තව්‍යයක් බව කියා සිටිමු. උන් හිතන්නේ දේශපාලනය යනු සමාජවාදය බව ය, ට්‍රොට්ස්කිවාදය බව ය, කොමියුනිසම් බව ය, ලිබරල් වාදය බව ය. රටක දේශපාලකයන් යනු සමාජ සේවකයන් බව අපෙ රටේ අදටත් බොහෝ පිරිසක් දන්නේ නැත. එය ග්‍රාමීය ප්‍රදේශ වල වැඩිපුරම දකින්නට ලැබෙන තත්ත්වයකි. දේශපාලකයා රජයේ සේවකයෙක් මට්ටමේ සිට ක්‍රියා කල යුතු වටපිටාවක් මේ රටේ අද හෙට උදාවන්නේ නැත්තේ ඒ නිසාය. විශ්වවිද්‍යාලයට එන එවුන් දේශපාලනයේ ගොදුරක් වනවාට අපි කැමැති නොවුණත් ඇතැම් ඌන දේශපාලනය ඇති සරසවි වල පක්ෂ දේශපාලනික අවශ්‍යතාවන් වක්‍රාකාරයෙන් ක්‍රියාත්මක වෙයි. නවක වදය ගැන ඇඟ හොලමන් වන පුවත් අපි අහන්නේ, දකින්නේ එවැනි අත පෙවීම් නිසා බව අපි විශ්වාස කරමු. එක අතකින් ගත් විට මේ සිදුවීම් අපේ රටට නුහුරු නුපුරුදු නොවේ. අපි 70 වසරක් පුරාවටම රවටන්ගෙන් හා රැවටෙන්නන්ගෙන් පිරුණු ජාතියක් ලෙස බොහෝ විනෝදයෙන් හා සතුටින් ජීවත් වෙමින් සිටිමු.

"අපි කලාව, දේශපාලනය, ආගම හා අධ්‍යාපනය පටලවාගත් ජාතියක් වී මිනිසුන්ට එලිපිටම වෛර කරමු, පඳුරු අස්සේ, පෙම් උයන් වල, රූම්ස් වල හොරෙන් ආදරේ කරමු, අමුව වපුරමු, පුහු දේවල් නෙලා ගමු, ජය!"

- පුරවර ප්‍රවාද -


No comments:

Post a Comment

නිදහසේ ශිල්පය ගැන තෙල් කතාවක්..! A story of unity & love, for new state university candidates and freshers

Location - Department of Mathematics, University of Colombo මේක අළුත් බලාපොරොත්තු දළුලන කාලයක්. එක පැත්තකින් 2018 අවුරුද්දෙ උසස් පෙළ ව...