Thursday, January 4, 2018

කලාව.. ආරම්භය! A simple preface to Sri Lankan arts



 මේ ලෝකෙ ආදරේ කරන්න දන්න හුඟාක් මිනිස්සු ආදරේ ගැන දන්නෙ නෑ. ඒ වගේම ආදරේ ගැන හුඟාක් දන්න මිනිස්සු ආදරේ කරන්න දන්නෙ නෑ. මිනිස්සු කාලයක්, වේගයක්, දුරක් විස්ථාපනයක් වගේ ලෞකික දේවල් දිහා හුඟාක් වෙලා බලාගෙන ඉඳලා නිර්මාණය කරන මහා විශ්මයජනක විද්‍යාත්මක නිමැවුම් දිහා හරිම උද්‍යෝගයකින් කතාකරනවා, විචාරය කරනවා අපි ඕනෑ තරම් දැකලා තියෙනවා. ඒත් කිසිම දවසක අපි කල්පනා කරලා තියෙනවාද, ඇස් දෙක රසෝන්මාදයෙන් තෙත් කරන, කන් දෙක සංගීත අමෘතයෙන් පුරවන, හිත, කය, මනසින් අපිට වෙන මොකුත්ම ගැන හිතන්න නොදීයලි යලිත්, යලි යලිත් ඒ තුන් ආකාරයෙන්ම අපි කෲර සමාජයක් ඇතුලෙ අප්‍රමාණ පීඩාවට පත්වෙද්දි, අපිට ආයෙමත් හිතින්, කයින්, වචනයෙන් ජීවිතේ විඳින්න, ජීවත් වෙන්න ආසාව ඇතිකරන්න පුළුවන් හරි අපූරු සාහිත්‍ය, සංගීත, ගී තනු වැල්, සිනමා කෘති නිර්මාණය කරන්න තරම් විශ්මිත මිනිස්සු මේ ලෝකෙට බිහිවුණේ කොහොමද කියලා. අපි හිතන අපේ සීමාව ඇතුලෙ, අපි අහන, දකින විඳින, රස විඳින හැම සබඳතාවක්ම අර්ථාන්විත වෙලා තියෙන්නෙ මොනයම් හෝ කලාවක් ඒ සබඳතාව එක්ක අපිට දැනෙන නිසාම විතරයි. ආදරය, වෛරය, මිත්‍රත්වය වගේ ඕනේම හැඟීමක් මූලික වුණු බැඳීමක් අපි දකින්නෙ ඇත්තෙන්ම කලාවක් විදිහට. අපි ඔබට උදාහරණයක් කියන්නම්. ඔබ මේ ලෝකෙට ආපු දවසෙ ඉඳලා ඔබට අනන්ත අප්‍රමාණ කටහඬවල් ඇහිලා ඇති, ශබ්ද ඇහිලා ඇති, ගීත ඇහිලා ඇති, රූප දැකලා ඇති, ගඳ, සුවඳ, රස ඕනෑ තරම් දැනිලා ඇති. ඒත් ඒවායින් ඔබ ආස කරන රූප මේ ලෝකෙ තියෙන්නෙ කොච්චර පොඩි ගාණක් ද, එතකොට ශබ්ද, රූප, කටහඬවල්, ගඳ සුවඳ වුණත් එහෙම්මමයි. ඔබ දන්නවාද, ඔබ ඒ විඳින රූපයක රසය, සුවය ඔබට විශේෂ ආකාරයකින් ලබාදෙන්න පුළුවන් කලා නිර්මාණයක් මොන තරම් විශ්මයජනකද කියලා. ඒකත් මෙහෙම තේරුම් කරන්නම්. ලෝකෙ ඕනෙ තරම් ශබ්ද ඔබ අහලා ඇති, ඒත් ඔබේ සවනට මිහිරි බවක්, උද්වේගයක්, ප්‍රබෝධයක්, විරහවක් ලබාදෙන්න පුළුවන් එක විශේෂ ශබ්ද කිහිපයකට විතරයි. ඒවට තමා සංගීත ස්වර කියන්නෙ. සංගීතයක් හදන්න බෑ, සංගීතයක් බලහත්කාරයෙන්, හදවතින් සොරාගන්න ඕනෙ. චිත්‍රයක්, සාහිත්‍ය කෘතියක්, පද රචනාවක් වුණත් එහෙමයි. ඉතින් ඒ වගේ කලාකාරයෙක් කරන්නෙ මොනතරම් ආශ්චර්යවත් නිර්මාණයක් ද. මිනිස්සුන්ට ජීවත්වීමේ ආශාවක්, හේතුවක්, බලාපොරොත්තුවක් ලබා දෙන්න පුළුවන්කම කලා නිර්මාණයකට තියෙනවා. ඒකයි අයින්ස්ටයින් කියන පරණ මනුස්සයා කිව්වෙ සියලුම විද්‍යා, කලා හා ආගම් කියන්නෙ එකම ගහක අතු කියලා.



ඔබ ලෝකෙ ඕනේ තරම් කටහඬවල් අහලා ඇති. ඕනේ තරම් මිනිස්සු දැකලා ඇති. ඒත් එහෙම හුරුපුරුදු බවක් දැනෙන, මතක තියාගන්න හිතෙන, සබඳතාවක් පවත්වන්න හිතෙන කටහඬවල්, මිනිස් රූප තියෙන්නෙ කොයිතරම් සීමාසහිත ප්‍රමාණයක්ද. අපි මේ විශේෂත්වය ගැන කතා කරන්නෙ මූලිකවම මිනිස් හැඟීම් ගැන ඔබට යමක් පැහැදිලි කරලා දෙන්න. මිනිස්සු ඇයි පොරබදන්නෙ කියලා ඔබ දන්නවද, ආරක්ෂාව ඇතිකරගන්න. ආරක්ෂාව මොකටද දන්නවද, සතුටට, ප්‍රීතියට පත්වෙන්න. සතුටට ප්‍රීතියට පත්වෙන්න ආරක්ෂාව තියෙන්නම ඕනෙද. ඔබ එහෙම ඕනෙයි කියලා හිතාවි. ආරක්ෂාව දැනෙන්නම තමා මේ ලෝකෙ ගොඩාක් මිනිස්සු කොච්චර අමාරු වුණත් රැකියා කරන්නෙ, ඒ අතරෙම ඉතාම සුළු පිරිසක් ලෙහෙසියෙන් පහසුවෙන් රැකියා කරන්නෙ. සියල්ලේම අවසන් ප්‍රතිඵලය සතුටට, ප්‍රීතියට පත්වෙන එක. ඒත් ඔබ සතුට, ප්‍රීතිය ඔබ ළඟම තියාගන්න උත්සාහ කරන පළමු උත්සාහයේදීම ඔබ සතුට, ප්‍රීතිය කියන මනෝභාවයන් අහිමි කරගන්නවා. අඩු තරමින් ඔබ ඒ ගැන දන්නේවත් නැතුවම. ඔබ ආරක්ෂාව හොයන්න පටන් ගන්නවා. ඒක තමා මිනිස් මනෝභාවයන්ගේ හැටි. ඔබ අප ලෝකය වියවුලක් කියලා දකින්නෙ මෙන්න මේ ආරක්ෂාව හොයාගන්න මිනිස්සු තරඟ කරන හැටි ඔබ දකින නිසා. සතුටට, ප්‍රීතියට පත්වෙන්න ඔබ හිතනවාද මේ හැමදේම ඕනෙයි කියලා, ආරක්ෂාව, සමාජ ස්ථාවරත්වය, ආත්ම ස්ථාවරත්වය, බැඳීම්, නැහැ, ඇත්තෙන්ම එය එසේ නොවෙයි. මිනිසුන් ලෝකෙ වැඩියෙන්ම ලෝබකම් කරන්නෙ සතුටු වෙන්න, ප්‍රීති වෙන්න නෙවෙයි. ආදරේ ලබන්න. ඒක තමා ඇත්තම කතාව. සතුටින් සිටින විටත්, දුකින් සිටින විටත්, යුධමය තත්ත්වයකදී වුණත් මිනිස්සු උමතුවෙන් වගේ ආදරේ බැඳෙන්නෙ ඒ නිසයි. ඒ හින්දම සතුට, ප්‍රීතිය, දුක, විරහව වගේ දේවල් නොමිලේම ආදරෙත් එක්කම ලැබෙනවට මිනිස්සු හරිම කැමතියි.


අළුත් අවුරුද්දක් උදාවෙන හැම වාරයකදීම මිනිස්සු එකිනෙකාට ඕනේ තරම් පොරොන්දු වෙනවා, ප්‍රාර්ථනා කරනවා, සුබ පතනවා. මරණ වරෙන්තුවක් නැති ඕනේම කෙනෙක් නාඳුනන කෙනෙක්ගෙන් වුණත් ලැබෙන සුබ පැතුමක් බාරගන්න පෙළඹෙනවා. මිනිස්සුන්ට හැම වෙලේම අවශ්‍යයයි සැලකිලිමත් භාවයකට ලක්වෙන්න. ඔබ දන්නවා වුණත්, නොදන්නවා වුණත් බොහොමයක් මිනිස්සුන්ට තියෙන ආත්මීය උවමනාව ගැන තමා අපි ඔය කිව්වෙ. එහෙත් අපි මුලින්ම කලාව ගැන කියද්දි කියපු සංකල්ප එක්ක බලද්දි මේ කියමන හාත්පසින්ම වෙනස් කියලා ඔබට දනෙනවා ඇති. සැලකිලිමත් භාවයකට පත්වෙන්න තියෙන උවමනාව නිසා බිහිවෙන කලා නිර්මාණ හරියට පුස් වෙඩිල්ලක් වගේ, පාළු අමු සොහොනක් වගේ. ඒ වගේ කලා නිර්මාණයක තියෙන්නෙම අන්ධ රසයක්. අපි මුලින්ම ඔබට කිව්වා මතක ඇති කලා නිර්මාණයක් බිහිවීමේ අවකාශය ගැන. ඉබේම නිදහසේ ඇතිවෙන ඕනේම හැඟීමක් කලාවක් බව්ට පත්කිරීමේ හැකියාව තියෙනවා. ඒ හින්දා වඩු වැඩ, මේසන් වැඩ කරන, මහා දැවැන්ත ගොඩනැගිලි ඉදිකරන මිනිස්සුන්ට, ඉංජිනේරුවෙක්ට, වෛද්‍යවරයෙක්ට, සිරකරුවෙක්ට වුණත් ඒ නියමය ඒ විදිහටම වලංගුයි.



මෙය හුදෙක්ම ආරම්භයක් පමණකි. සිතීමත් අරගලයක් වන බව අපි දැඩිව විශ්වාස කරමු. චෛතසික අරගලයක අවසාන ප්‍රතිඵලය විප්ලවයකි. අපි එය ඔබත් සමඟ ප්‍රතිවිප්ලවයක් දක්වා ගෙනයාමට මහත් ආශාවෙන් බලා සිටිමු.

- පුරවර ප්‍රවාද -

No comments:

Post a Comment

නිදහසේ ශිල්පය ගැන තෙල් කතාවක්..! A story of unity & love, for new state university candidates and freshers

Location - Department of Mathematics, University of Colombo මේක අළුත් බලාපොරොත්තු දළුලන කාලයක්. එක පැත්තකින් 2018 අවුරුද්දෙ උසස් පෙළ ව...