Thursday, December 21, 2017

අනුන්ගේ අපේ අධ්‍යාපනය (තරඟය) Competitive education system of Sri Lanka


අධ්‍යාපනය යනු මිනිසාට සතුටින් ජීවත්වීමට ඉගැන්වීමේ ක්‍රියාවලියයි. සංවර්ධිත රටවල් විසින් ලොව පුරා අධ්‍යාපනය මෙහෙයවන්නේ සතුටින් සිටින මිනිසුන් බිහිකිරීම සඳහා ම වූවද මෙරටදී තත්ත්වය හාත්පසින්ම වෙනස් බව ඔබත් අපත් හොඳින්ම දන්නා කාරණාවකි.


අධ්‍යාපනයේ සරලම අදහස ආදරය කිරීමට ඉගැන්වීමයි. තමන් කරන කියන, අහන දකින, විඳින, රස විඳින සියල්ලට ආදරය දැක්වීමට ඉගැන්වීමයි. මම බටහිර ගැත්තෙකු නොවෙමි. මක් නිසාද යත් බොහෝ කලකට පෙර තිබූ දේශීය අධ්‍යාපන ක්‍රමයද එලෙස පැවති ක්‍රමවේදයකි. පුරාතන ශ්‍රී ලංකාවේ අපෙන් සැඟවී ගිය විද්‍යාවක්, කලාවක්, සාහිත්‍යයක්, සමාජ හර පද්ධතියක් පැවති බවට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සාක්ෂි දරයි. හරි හැටි මතුකර නොගත් රාවණා ශිෂ්ඨාචාරයක්, ලිඛිත මූලාශ්‍ර, සාක්ෂි පවතින විජයාවතරණයත්, මහින්දාගමනයත්, අනුරාධපුර, පොළොන්නරු රාජධානි වලින් ආරම්භ වී කෝට්ටේ රාජධානිය හා කොළඹ යුගය තෙක් පැවතෙන ඉතිහාසයේ මඟ සලකුණු දෙස හැරී බලන විට අපි ජාතියක් ලෙස පැහැදිලි අවධානයක් නොදුන් කාරණාව අධ්‍යාපනයම බව කිව යුතුය. එය අදහසකටත් වඩා ඉතිහාසයෙන්ම අපි මතුකොට ගත යුතු කාරණාවකි. අපි දන්නා කලා වැවේ, පරාක්‍රම සමුද්‍රයේ හා යෝධ ඇලේ විශ්මිත වාරි තාක්ෂණයත්, සීගිරිය, ගල් විහාර ප්‍රතිමා, අවුකන ප්‍රතිමාව, මහමෙව්නා සමාධි ප්‍රතිමාව, මහා සෑයේ, ජේතවන දාගැබේ, මිරිසවැටි දාගැබේ ජ්‍යාමිතික තාක්ෂණයත් හැරුණු කොට තවත් කතා කිරීමට ඇති බොහෝ විද්‍යාත්මක හා කලා නිර්මාණ බිහිකිරීමෙහිලා බලපෑ අධ්‍යාපනය ගැන අපි අවධානය දෙන්නේ කෙසේ දැයි සිතා බැලිය යුතුය. ඊටත් වඩා අපි ඒ වෙනුවෙන් අවධානය නොදෙන්නේ ඇයි දැයි සිතා බැලිය යුතුය.


අපි ඔබ වෙත විශේෂිත කාරණාවක් මතු කිරීමට කැමැත්තෙමු. ශ්‍රී ලංකාවට බටහිර ජාතිකයින් ගොඩබසින්නේ දහසයවන සියවසේ මුල් භාගයේදීය. 1505 දී ලොරෙන්සෝද අල්මේදා මෙරටට ගොඩබසින්නේ නාවිකයෙක් හැටියටයි. එතැනින් ඇරඹෙන්නේ යටත් විජිත සමයකි. බටහිර ජාතිකයින් මෙරට සක්‍රීයව සිටින්නේ වසර 132කි. ඊට පෙරාතුව 1505 දීත්, 1602 දීත්, අවසානයේදී 1796 වසරේදීත් මෙරටට බටහිර ජාතිකයින් සංක්‍රමණය වූ බව අපි දනිමු. සෘජු මෙන්ම ලිඛිත ආක්‍රමණ(ගිවිසුම් යැයි අපි කියමු) ක්‍රියාත්මක වෙමින් මෙරට ක්‍රමිකව බටහිර ග්‍රහණයට නතු කර ගැනීමෙන් සිදු වූ සමාජ, දේශපාලන හා සංස්කෘතික වෙනස්කම් මෙන්ම මෙරට නිවැරදි ආකාරයෙන් තිබූ අධ්‍යාපන ක්‍රමයද බටහිර ග්‍රහණයට නතු වූ බව කිව යුතුය. කණගාටුවට කරුණ නම් අපි එදා ක්‍රියාත්මක කල අධ්‍යාපනික ක්‍රමවේද සමහරක් සැලකිය යුතු ලෙස යුරෝපීය අධ්‍යාපනයට පවා නූතනයේ යොදාගනිද්දී, එලෙස යල් පැනගිය පැරණි බටහිර අධ්‍යාපන ක්‍රමය තවමත් මෙරට තුල ක්‍රියාත්මක වීමය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කිරීමට මේ තරමටම අටුවා ටීකා කියා පෑවේ යටත් විජිත න්‍යාය සමූහයේ පටන් මෙරට සිදුවූ අධ්‍යාපනික පසුබැසීම ගැන කතා කිරීමට බලපෑ දේශපාලන පසුබිම ඔබට මතක් කර දීමට ය. අපි එයින් අදහස් කරේ බටහිර ජාතිකයින් විසින් මෙරට මුල් බැස්සවූ මිෂනාරි අධ්‍යාපනය අපගේ මානුශීය ආකල්ප වියලා දැමීම තෙක් ප්‍රගමනය වූ හැටි අපි අපිම ආයෙත් විමසා බැලීමට මේ හොඳම කාලය බව සිහිපත් කිරීමට ය.






යුරෝපයේ කාර්මික විප්ලවය උදෙසා වැඩිම විද්‍යාත්මක සොයාගැනීම් සිදු වූ කාල වකවානුව වූයේද මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිත සමයයි. බ්‍රිතාන්‍යය, ප්‍රංශය, බටහිර ජර්මනිය, පෝලන්තය, රුමේනියාව, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර හා යුරෝපා රටවල් පුරා බටහිර විද්‍යාත්මක න්‍යායයන් ප්‍රචලිත වීම ආරම්භ වූ මේ සමයේදී යුරෝපීය මිෂනාරි අධ්‍යාපනය විශේෂීකරණය වෙමින් විද්‍යාත්මක දැනුම් පද්ධති නිර්මාණය කිරීම උදෙසාම ප්‍රතිනිර්මාණය විය. එය හුදෙක්ම නූතන විද්‍යාත්මක න්‍යායයන් මූලික වශයෙන් හැඩගැස්වීමට එකලදී යොදාගැනුණු අධ්‍යාපන ක්‍රමවේදයකි. එබැවින් එය මෙරට දේශීය අධ්‍යාපනයෙන් හාත්පසින්ම අපගමනය වූවකි. මිෂනාරි අධ්‍යාපනයේ මූලික වශයෙන්ම සිදුවූයේ ගැහැනු, පිරිමි වශයෙන් බෙදා, කණ්ඩායම් වශයෙන් බෙදා, පන්ති වශයෙන් බෙදා, එමෙන්ම එක් විශේෂීකරණ ක්ෂේත්‍රයකට අදාලව පුද්ගලයාගේ තරඟකාරීත්වය මත ලබාදෙන අධ්‍යාපනයකි. ඔබ අප බහුලව නොදන්නවා වූවද එකල විද්‍යාඥයින් අතර නව සොයා ගැනීම් සිදුකිරීමට, පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට, ස්වකීය නිමැවුම් වෙනුවෙන් මූලික ප්‍රාග් ධනය උදෙසා ආයෝජකයින් සොයා යෑමට ඉතා ඉහල තරඟකාරීත්වයක් පැවතී ඇති බව කිව යුතුය. මේ සියල්ලේ හරි හෝ වැරදි හෝ වේවා සම්ප්‍රයුක්ත ක්‍රියාවලියම විද්‍යාත්මක සොයාගැනීම් මෙන්ම නූතන තාක්ෂණික ප්‍රගමනයට ඉවහල් වූ බව අපි දනිමු.


එහෙත් මෙකී අධ්‍යාපන ක්‍රමය සර්ව සම්පූර්ණ හා නිවැරදි නොවන බව වටහා ගත් බටහිර ජාතිකයෝ ක්‍රමිකව සංශෝධන සිදුකරමින් එය මානව ආචාර ධර්ම, මානුශීය ගුණාංග හා පුද්ගල ඵලදායීතාවය උදෙසා දිශා ගතකරන්නට උත්සුක වූහ. බොහෝ සංවර්ධිත රටවල පුද්ගල ඵලදායීතා දර්ශක හා සතුටින් සිටින ජනතා ප්‍රතිශතය සම්බන්ධ වාර්තා ඉතා ඉහල අගයක පවතින්නේ ඔවුහු මිෂනාරි අධ්‍යාපනයේ තිබූ මෙම හිඩැස් කල්තියා හඳුනාගෙන සුදුසු ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙනි. අධ්‍යාපනයේ මූලික අරමුණ ලෙස මෙම රටවල් නූතනයේදී සලකන්නේ සතුටින් සිටින මිනිසුන් නිර්මාණය කිරීමයි. මූලික හා ප්‍රාථමික අධ්‍යාපනයේදී තමා විශේෂ පුද්ගලයෙකු බවත්, සතුටුදායක ක්‍රියාවලියක නිරතවන බව ශිෂ්‍යයාට ඒත්තු ගැන්වීමත් සිදුකෙරේ. එලෙස සතුටින් ජීවත්වන මිනිසුන් නිර්මාණය කිරීම තරම් පුද්ගල ඵලදායීතාවය ඉහල නැංවිය හැකි වෙනත් ක්‍රමවේදයක් නැති බව ඔවුහු විශ්වාස කරති.



මෙය පැරණි ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමයේ පැවති අංගයක් බව ඔබ විශ්වාස කරනවාද. ඔවුහු එය අපෙන් ඉගෙනගත්තා වූවද එසේ නොමැති වූවද රටක් සමස්තයක් වශයෙන් දියුණු රටක් ලෙස පිළිගැනෙන්නේ එම රටේ ජනතාව කොතරම් ප්‍රීතිමත් ද යන කාරණාව මතය. අපි මෙරට පැවති අධ්‍යාපන ක්‍රමය ගැන මඳක් සිතා බලමු. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට මත්තෙන් පිටු දහස් ගණනක ධර්මස්කන්ධය කාලයත් සමඟ ප්‍රගමනය වූයේ හුදෙක් ම කටපාඩමින් බව අපි දනිමු. නූතන සංඝ පරපුරට ඇති සමාජයීය, සංස්කෘතික හා දේශපාලන ගැටළු එකල භික්ෂූන් වහන්සේලා උදෙසා පැවතියාදැයි අපි නොදනිමු. එහෙත් එක් කරුණක් පැහැදිලිය, එනම් දැනට වඩා ප්‍රීතිමත් භික්ෂු පරපුරක් මෙන්ම දායක උපාසක, උපාසිකා පරපුරක් ද එකල සිටි බවය. එසේ නොවන්නට අවුකන, ඉසුරුමුණි ගල් වඩුවා ගැන අපි සාහිත්‍ය කලා නිර්මාණ රසවිඳින්නේ නැත, කලා වැව ගැන, සීගිරි බිතු සිතුවම්, කුරුටු ගී ගැන අපි ගීත අසන්නේ නැත, විශිෂ්ට වාරි ඉංජිනේරු විද්‍යා නිමැවුම් අපිට සිහිනෙන්වත් නිර්මාණය කරගැනීමට නොහැක. අපිට ඔබට කීමට ඇත්තේ වෙනස් කිරීමට ඇති බොහෝ දේ පසෙක ලා අපි මෙරට අධ්‍යාපනය වෙනස් කල යුතු බවය. මේ ආරම්භයක් පමණි, මේ ගැන අපිට කතා කිරීමට තවත් බොහෝ දේ ඇත.


- පුරවර ප්‍රවාද -

No comments:

Post a Comment

නිදහසේ ශිල්පය ගැන තෙල් කතාවක්..! A story of unity & love, for new state university candidates and freshers

Location - Department of Mathematics, University of Colombo මේක අළුත් බලාපොරොත්තු දළුලන කාලයක්. එක පැත්තකින් 2018 අවුරුද්දෙ උසස් පෙළ ව...