Wednesday, January 17, 2018

සරසවිය හා බැණුම් ඇසීමේ කලාව - අවසානය Mental cruelty of state universities of Sri Lanka

Photo credit goes to Praveen Hasaranga

අපි මේ යන්නේ බැණුම් ඇසීමටයි. ආයෙත් කියන්නම්
, අපි බැණුම් අහන්න ආස හිතෙන්න ලියන්නයි යන්නෙ. මේ දෙකක් වගේ පෙනුනත් වෙන්නෙ එකම දේ. ඒක ගැන ආයෙමත් පාරක් ටිකක් හිතලා බලන්න. මේ කියන්න යන්නෙ විශ්වවිද්‍යාල උප සංස්කෘතිය ගැන අපි ලියන අන්තිම ලිපිය ගැන. උප සංස්කෘතියක් කියන්නෙ මොකක්ද කියලා දන්නව ද. ඇත්තට ම ඒක ගැන දැනගන්න ඕනෙද. කිසිම විශ්වවිද්‍යාල පද්ධතියක රැඳෙන්න මේ වචනෙ තේරුම ගැන දැනගෙන ඉන්නම ඕනේ නැහැ. ඒක කිසිම තේරුමක් නැති දෙයක් වෙනවා ඇඟට ගත්තොත්. සරලව ම කිව්වොත් මේක එක්තරා ආචාර ධර්ම පද්ධතියක්. හැබැයි ඒක ඇතුලේ ප්‍රකට සමාජයීය හර පද්ධතියට, මානුශීය සම්ප්‍රදායන්ට ඉතා ඉහල වටිනාකමක් දෙනු ලබනවා. අපි කතා කිරීමට ඉතාමත් අකැමැති මාතෘකාවක් වුණත් සරසවිය පෙනෙන තරම් සුන්දර ව්‍යුහයක් නොවන බව වැනි පිළුණු වූ, ඕජස් හැලෙන කතාවක් ගැන සමාජයේ පූර්ව මතය ඔස්සේත් අපිට කතා කරන්නට වේවි. සියල්ල කතා කර අවසන් කිරීමට අපි ඇත්තෙන්ම කැමැති ය. අපිට ප්‍රකට ව නොපෙනුනත් සමාජයේ හැම උප ව්‍යුහයක් ඇතුලෙම තියෙන්නෙ උප සංස්කෘතියක්. ඒත් ඒවාට සමාජයීය අවධානය අඩුයි. පාසලක්, පෙර පාසලක්, ගුරු විද්‍යාලයක්, අධ්‍යාපන විද්‍යා පීඨයක්, හෙද විද්‍යාලයක් වුණත් පවත්වාගන්නෙ උප සංස්කෘතියක් ඔස්සේ බව විවෘත මනසකින් බැලුවහොත් ඕනෑම කෙනෙකුට පෙනෙන කාරණාවකි.

පාසලක් ආරම්භ කිරීමට වේලාවක් තිබේ, අවසන් කිරීමට වේලාවක් තිබේ, විනය නීති පද්ධතියක් තිබේ, කොටින්ම එයට සම්මත ව්‍යවස්ථාවක් තිබේ. මේ කාරණාව අධ්‍යාපන විද්‍යා පීඨ, හෙද විද්‍යාල මෙන්ම පෙර පාසල් වලටත් එසේම වන බව ඔබ නොදන්නවා නොවේ. ව්‍යුහාත්මකව පවතින වෙනස්කම් හැරුණු කොට අදාල පද්ධතියේ අරමුණ හා මෙහෙවර ක්‍රියාදාමය වෙනුවෙන් පවත්වාගන්නා ආවේණික සම්ප්‍රදාය ඒ ඒ කුටුම්බයේ උප සංස්කෘතිය යි. අපිට මේ දේවල් මේ විදිහට ඔබට විස්තර කිරීමේ පූර්ව අවශ්‍යතාවක් ඇතිවුණා. ගොඩක් දෙනෙක් විවේචන ඉදිරිපත් කරන්නෙ මතුවී පෙනෙන කුටුම්බයට විතරයි. ඒත් ඒකෙ ඔබේ වරදක් නැහැ. එහි ස්වභාවය එසේයි. මිනිසුන් වෙනස් කිරීමේ හැකියාවක් ඔබටවත් අපිටවත් නැහැ. එහෙත් අපිට බලපෑමක් ඇතිකිරීමට තුඩු දෙන හේතූන් වන්නට පුළුවන්. මේක විශ්වවිද්‍යාල පද්ධතියට විතරක් පොදු කාරණාවක් නෙවෙයි. රටේ බොහෝ පිරිස් දැන හෝ නොදැන ගෙනියන්නේ තම තමාගේ දෛනික ක්‍රියාවලියට පහසුකම් සපයන උප සංස්කෘතියක්. අපි විවේචනයට ලක් වෙන විශ්වවිද්‍යාල උප සංස්කෘතියවත් අනෙකුත් බාහිර සමාජයේ උප සංස්කෘතීන්වත් උපහාසයට, විවේචනයට ලක් නොකරමු. එහි කිසිම තේරුමක් නැත. උප සංස්කෘතියක් විවේචනය කිරීමේ හරයක් නැත්තේ එය එලෙස වෙනස් කල නොහැකි නිසාවෙනි. වෙනස් වීමේ අවශ්‍යතාවක් නොමැතිව, හේතුවක් නොමැතිව මෙම පද්ධතීන් කිසිසේත් ම වෙනස් නොවේ. උපායශීලීව වෙනස් කල හැකිය. එය වෙනම කතාවකි. උපායන් යොදමින් දේශපාලනීකරණය වූ සරසවි කුටුම්බ ගැන අපි හොඳාකාරයෙන්ම දනිමු. එහෙත් සමාජයේ බොහෝ පිරිස් ඒවා විවේචනය කරන්නේ ඒ ගැන සොයා බැලීම් නැතිවය, විමසීම් නැතිවය. ඒවා හුදෙක්ම පුහු මතවාද බවට පත්වන්නේ ඉන් අනතුරුවය. ඒවා සියල්ල සිදුවන්නේ අපිට අපේ අනර්ඝ සංස්කෘතිය හා සභ්‍යත්වය විසින් මතුකර දී ඇති වටිනාකම් ගැන අපි අපිම පුරාජේරු ගසන කාලයක ය. තමාට සියල්ල දේශපාලකයින් විසින් ලබා දිය යුතු යැයි සිතන මිනිසුන් අපේ රටේ ඕනෑවටත් වඩා සිටී. සියල්ල රටේ මිනිසුන් විසින් ම කර දිය යුතු යැයි සිතන චරිත ද අපි ඕනෑ තරම් දකිමු. සියල්ලට ම පසු කීමට ඇත්තේ අපි ඉන්නේ ධනවත්, සංවර්ධිත රටක නොවෙන බවය.නැවත වතාවක් කිව යුතුය. අපි අපිව හෝ අපේ ප්‍රතිවාදීන්ව හුරතල් නොකරමු. එය කිසිසේත්ම අපේ ක්‍රමය නොව එය ප්‍රතිගාමී පුද්ගල නටඹුන් සතු වන බැවිනි. කෙසේ හෝ අපි ඉන්නා රට සංවර්ධනය නොවන්නේ ඇයි දැයි ඔබ දන්නවාද! හේතුව එය සංවර්ධනය නොවෙන නිසාය. එය 2015න් පසු නැවතුණා යැයි ඔබ සිතන්නට පුළුවන. එහෙත් එය සංවර්ධනය කිරිම කිසිදා ආරම්භ නොකල වග අපි ඔබට මතක් කරමු. නිදහසින් පසු ශ්‍රී ලංකාව යනුවෙන් මාතෘකාවක් ඉගෙනගත්තා අපිට මතකය. ලංකාවේ නිදහස් අධ්‍යාපනය පනතක් ඔස්සේ සම්මත වනුයේ ඇත්තෙන්ම මේ රට සංවර්ධනයට අවශ්‍ය මූල බීජ රට තුලින්ම සොයා ගැනීමේ අරමුණින් ය. එය සාර්ථක කර ගැනීමේ ඊළඟ පියවර වූයේ 1978 විශ්වවිද්‍යාල පනතයි. ඒ ඔස්සේ රට පුරා ප්‍රදේශ වල විශ්වවිද්‍යාල ආයතන පිහිටුවීමත් සමඟ රටේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවට එය විවෘත වූවා යැයි කීවොත් වැරදිය. තෝරාගන්නා පිරිසක් උදෙසා එය ක්‍රියාත්මක වීම ගැන අදටත් කිසිවෙක් දොස් නගන්නේ නැත. ඒ එලෙස තෝරා ගනු ලබන්නේ නියමිත ක්‍රමවේදයක් ඔස්සේ පවත්වන විභාගයකින් හෝ ඇගැයීම් ක්‍රමයකින් ඉහලම දක්ෂතා දක්වන පිරිසක් වන නිසාය. මේ කාරණා ගැන අපි මින් පෙර කතා කර ඇත්තෙමු.


නැවත නැවතත් මේ දේවල් ගැන අපිට කතා කිරීමට සිදුවීම ගැන අපිට සතුටකටත් වඩා ඇත්තේ දුක, පසුතැවීම, හාස්‍යය හා උපහාසය මුසු හැඟීමකි. ලංකාවේ ක්‍රියාත්මක වූ  හා ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රමවේද කිසිවක් නිවැරදි නොවේ යැයි අද රටේ බොහෝ දෙනෙක් පවසයි. එහෙත් කිසිවෙක් හරි ක්‍රමයක් ගැන කතා නොකරයි. අධ්‍යාපනය වැරදි බව කියයි, එහෙත් හරි ක්‍රමවේදයක් ගැන කිසිවෙක් නොදනී. සෞඛ්‍යය ගැන කතා කරයි, වෙනස් විය යුතු බව කියයි, හරි ක්‍රමයක් ගැන කිසිවෙක් අදහසක් නොදේ. වෙළඳ හා ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරයි, එහෙත් ට්‍රිලියන 11ක් ණය ඇතිවූයේ ඇයි දැයි කියා නොසොයයි. ඒ ණය පියවූවද තවදුරටත් ණය ගැනීමට සිදුවන බව නොදනියි. මේ රට පවත්වා ගන්නේ ණය වලින් බව ඇතැම් විටෙක අපට සිතේ. මහවැලි ව්‍යාපාරය පවා යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූවත් මහවැලි ගඟ හැරෙව්වේ වැරදි පැත්තෙන් බවත් එය වයඹ හා උතුරු මැද සෘජුවම පෝෂණය කල යුතු බවත් මුලින්ම කීවේ රෝහණ විජේවීරය. එය අපේ අදහසක් නොව ඔහුගේය. එහෙත් අදටත් වයඹ හා උතුරු මැද ලක්වන මහා නියං ආපදාව ගැන සැලකීමේදී එහි සත්‍යතාවක් ඇති බව පෙනෙන්නට තිබේ. මේවා කිසිවක් වාමාංශික දේශපාලනය නොවේ ය. එහෙත් රෝහණ විජේවීර, ඇන්. ඇම්. පෙරේරා යනු මේ රටට හරි හැටි වැඩක් ගන්නට නොහැකිවූ මොල දෙකක් බව කිව යුතුය. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයින් විසින් හැරගියේ එය ධනවාදයට තල්ලු වීමට තිබූ පල්ලම අසලටම ගෙනැවිත් හමාර වූවාට පසුවය. එබැවින් අප රට ප්‍රජතන්ත්‍රවාදී ලේබලය ඔස්සේ ධනවාදී රටකි. එහෙත් කොහෙන්දෝ පැමිණි සමාජවාදී කෑල්ලක් අපේ රටේ ව්‍යවස්ථාවට ඇත. 1914 රුසියානු විප්ලවයෙන් පසු 1989 දක්වා සෝවියට් තොටිල්ල බිඳවැටෙන තෙක් මෙරටට සමාජවාදී ව්‍යාපාරයෙන් ආධාර ලැබුණු අතර චීන ජනරජය, ජපානය යුහුසුළුව උපකාර කල රටවල් අතර මේ රට ප්‍රධානය. ඒ සියල්ලට පසුත් මේ රටේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන, අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන සිතීමේදී සමාජවාදී කෑල්ල ආපු හැටි සිතාගත හැකිය. ඒ සියල්ල සොයා බැලීමේදී මේ රට පවත්වාගන්නා ක්‍රමය වැරදි යැයි අපට නොසිතේ. මක් නිසාද යත් වෙනසක් අවශ්‍ය සෑම විටකදීම අපි ජාතියක් ලෙස වෙනස් වීමු. හාස්‍යජනක කාරණාවද එයයි. පිල් බෙදෙමින් වෙන් වූවද අපි හැමදෙනාටම තිබුණේ එකම අවශ්‍යතාවකි. එනම් මැජික් අරිෂ්ඨය සොයාගැනීමයි. එවිට අපිට නොසිතූ ශක්තියක් ලැබේ. සියල්ලන් අවනත කර ගත හැකිය. පාලකයින් හා පාලන තන්ත්‍රය විසින් අපිව හුරතල් කර අපිව සනසාවි යැයි සිතීමට මෙම මැජික් අරිෂ්ඨය බිවූ පසු  අපි සිතමු. පාලකයින් හැමදාමත් මැතිවරණ සමයේදී අපිට පෙනුණේ මැජික් කරුවන් ලෙසය. මිනිසුන් ෆැන්ටසි ලෝක වල පාකිරීමේ හැකියාව ඇත්තෝ පාලකයෝ වූහ.



මැජික් වලින් රටවල් දියුණු නොවෙන බව මිනිසුන් තේරුම් ගත යුතුය. රටක් දියුණු කිරීමේ පලමු පියවර අධ්‍යාපනයයි. එය ගැන කීමට හා එය සනාථ කිරීමටය මේ තරම් අපි ඔබට මේ රටේ මේ තාක් සිදුවූ දේශපාලනික හා සමාජ පෙරළිය ගැන කීවේ. අපිට නැති දේ අධ්‍යාපනය බව අපිට කීමට සිදුවේ. අපි දුප්පත් රටක් වී ඇත්තේ රටේ මිනිසුන් දුප්පත් නිසාය. මේ රටේ බලය බෙදන්නට කතා කරන ඊනියා බෙදුම් වාදීන්ට අපේ ගෞරවණීය ස්වාමීන්වහන්සේ නමක් හොඳ උත්තරයක් දුන්හ; බලය හැර මේ රටේ සියල්ල මහජනතාව අතරේ සමසේ බෙදිය යුතුය. එහෙත් අපේ රටේ ඇත්තේ කුට්ටි ක්‍රමයකි. පවුල් කුට්ටි වශයෙන් සිටී. දේපල, මුදල් ආදිය කුට්ටි වශයෙනි. මේ රටේ කුට්ටි වශයෙන් නොදෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමණි. ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයට දැන් ඒ කුට්ටිය ආගමනය වෙමින් තිබේ. දැන් ඔබ කියාවි, ඔබ සිතාවි විශ්වවිද්‍යාල අධ්‍යාපනය දෙන ක්‍රමය හරි කියා. එය පැහැදිලි නැත. පැහැදිලි කරගත යුත්තේ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඔස්සේ ය. මක් නිසාද යත් මේ රටේ විශ්වවිද්‍යාල වල තරම් මානසික ඝාතන, මනෝමූලික ව්‍යාජ ප්‍රතිරූප මවන, කැත වැඩ සිදුවන වෙනත් රාජ්‍ය අධ්‍යාපන ආයතන නොමැති නිසාවෙනි. ඌන සම්මතයක් ෆැනටසියක් කරගෙන ඉන්නා පිරිස් වැඩියෙන්ම ඉන්නේ විශ්වවිද්‍යාල පද්ධතියේය. කාලෙකට කලින් අපේ රටේ එලෙස විශ්වවිද්‍යාල පද්ධති වල සිටි රොඩු දැන් රටේ මහ පුටු වලය. අපි ඔබට කිව යුතු නැති වූවත් මෙරට පාර්ලිමේන්තුවට හොර පාරෙන් රිංගන විෂබීජත් ඉන්නේ අපි කියනා කුලකයේ ය. සයිටම් වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමේ ව්‍යාපාරයට සිටි පැහැදිලි ප්‍රතිවාදීන් අපි කියනා කුලකයේ ය.
මේ රටේ තමන්ට ඉගැන්වූ පිනට හිලව් වශයෙන් ශිෂ්‍යයින් විශ්වවිද්‍යාල වල අන්ත දුක් විඳ ඉගෙනගන්නා බව අපි දනිමු. එහෙත් එහිදී අපි කියූ කොට්ඨාශය සරසවි කුටුම්බයට එන්නේ ඇපත් නැතුවය. මේ රටේ හැම දේම සිදුවන්නේ වාසියට ය. කෙහෙල් ගෙඩිය කා ලෙල්ල අතේ ගුලි කරගැනීමට වඩා දෙයක් දන්නා මිනිසුන් සරසවියට යා යුතුය. කාලයක් තිස්සේ සිදු වූ කැත වැඩ වල ප්‍රතිඵලයක් ලෙස මේ රටේ විශ්වවිද්‍යාල සමස්ත ප්‍රජාව ගැන රටේ පැහැදීමක් නැත. එය 1989-90 කාලේ තිබුණා මෙන් නොව සැබෑම ජනතා විරෝධයකි. වැඩියෙන්ම බැණුම් අසන ඔවුහු පසුගිය දා සයිටම් සටන තීරණාත්මක අවසානයක් තෙක් ගෙනාවෝය. එය අවසානය යැයි අපි කිසිසේත් ම නොකියමු. පසුගිය වසරේ මැද භාගයේදී දිවයිනේ බොහෝ විශ්වවිද්‍යාල ආයතන දැඩි උවමනාවකින් සයිටම් අරගලය හා එක් වී සිටි ආකාරය අපිට හොඳ හැටි මතක ය. ප්‍රබල ලෙස මූලිකත්වය ගත් වෛද්‍ය පිඨ වලට අමතරව කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, මොරටුව හා පේරාදෙණිය සමඟ අවසානයේදී කොළඹ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පවා මේ අරගල බිමට එන්නට විය. එහි ප්‍රමාණාත්මක බව ගැන අපි කිසිත් නොකියමු. කොළඹ උන් පිකටින් ගියේ සයිටම් වහන්න නෙවේ, සයිටම් ප්‍රමිතිගත කරන්න ඉල්ලා යැයි පාදඩ කතාවක් කොළඹ එකෙක්ම කියනු අපිට ඇසිණි. මේවා අපි මුලින් කියූ ජාතියේ ප්‍රතිගාමී රොඩු විශබීජ වල මුල් අංකුර ය. එය කොළඹට පමණක් අනුගත කරගත යුතු කාරණාවක් නොවේ, එය මොරටුව, ' පුර, කැලණිය හා පේරාදෙණියටත් පොදු ය. මේ රටේ සතර දෙස ඇති සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රතිබිම්බය ට රොඩු ඕනෑ තරම් එකතු වෙන බව අපි කියමු. එය එසේ කියන විට කොළඹට, පේරාදෙණියට, මොරටුවට, ' පුරට, කැලණියට ඇති අභිමානය ම ඔලුවිල් වලටත් පැතිරෙනු ඇත. ඒත් සමඟ ම අපි කියූ රොඩු විශබීජ එන්නේ ත් ඒ ආකාරයෙන් ම එකට ය. අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අභිමානය ගැන හොඳම කතාව කිව්වේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගංගානාත් දිසානායක ය. ඒ මුළු සරසවි ශිෂ්‍ය ප්‍රජාවම රටේ සමස්ත ශ්‍රම බලකායට ඇති සදාචාරාත්මක ණය බර ගැන මතක් කරමිනි. මේ රටේ ලක්ෂ කෝටි ගණන් වියදම් කර මහජනතාව විසින් ශිෂ්‍ය ප්‍රජාවට උගන්වන හැටි ගැන අපි පැණි වලලු කියවා රස වින්දෙමු. අපිට ඇත්තේ ආදරයකි. සමස්ත ශ්‍රම බලකාය උදේ සවස දුම්රිය බස් වල තෙරපෙන හැටි දුටු අපිත් ඒ ප්‍රවාහයේ ම රැඳෙන්නට උත්සාහ කලෙමු. එහි ප්‍රතිපලයක් ලෙස අපි උදේ සවස ඔවුන් විඳින දාඩිය සුවඳ මුසු කඨෝරත්වය අත් වින්දෙමු. එහි ම වරක් සරසවි නවක වදය ගැන ඔහුගේම ලිපියක් බකට් එක ගැන කියා තිබුණා මතක ය. ගවුම් කිලිටි වූ නවක කෙල්ලන් බකට් වන හැටි මෙන්ම දිව්‍ය ලෝකයේ සරුවත් හෙවත් අමෘතය හිසට වත් කර ඔවුන්ව පිරිසිදු කල හැටිත් සරසවි උප සංස්කෘතිය යැයි කීමේ අභිලාශයක් ඇත්තෙන් ම අපට නැත. අපිට කීමට ඇත්තේ ශිෂ්‍ය හැසිරීම් වල විවිධත්වයයි. එය නූතනයේදී පත්ව ඇති ආත්මර්ථය මුසු ක්‍රියාවලියට අපි අකැමැති ය. අපිට කතාව ආරම්භ කිරීමට සිදු වන්නේ එතැන් සිට ය.



අපි නොදන්නා පාදඩ දේවල් විශ්වවිද්‍යාල පද්ධතියේ සිදුවෙන බව කිව යුතු ය. ඇත්තෙන් ම ඒවා එලිදරව් කිරීමේ කිසිදු පදනමක් නැත. එය ඇමෙරිකාවේ දේශගුණය ගැන පුදුකුඩුඉරිප්පු වල සිට කතා කරනවා වාගේ වැඩකි. අපි කියනා තරඟය ක්‍රීඩා කල යුත්තේ ක්‍රීඩාගාරය ඇතුලේ සිට ය. අපි මුලින්ම කියු  අපිට නැති අධ්‍යාපනය විශ්වවිද්‍යාල වලට ද පොදු ය; එයත් සමාජයේම උප කුලකයක් වන නිසාවෙනි.

අපේ රටේ විශ්වවිද්‍යාලයට එන්නට පෙර අධ්‍යාපනය කිසිදු කමකට නැත. අපි මේ කාරණාව ඕනෑ තරම් අසා ඇත්තෙමු. එහෙත් එසේ නම් ඔබ පිළිගත යුත්තේ මේවා ඇතුලට යන උන් ද නිවැරදි මිනිසුන් වී එලියට එන්නේ නැති බව ය. මේ රටේ කුට්ටි දේශපාලනික සත්ත්වයාම විශ්වවිද්‍යාලයේදී ද ඒ ලෙසට ම ඉන්නා බව අපි අත්දැකීමෙන්ම ප්‍රකාශ කරමු. ඒවායේ උන් ගැටි ගැසෙන්නේ ඒ සහජ සමාජ පන්තියට හිලව් වන්නට ය. සරසවි ගැටි පාසල් ගැටි මෙන් සරල නැත, හුදෙක් ම ඔවුහු සමාජ පන්තියක් නියෝජනය කරති. ඔබ පිලිගත්තද නැතද සත්‍යය එයයි. ඊට හේතු කාරණා රැසකි. අපි ඔබට සරලම කාරණාව කීමට කැමැත්තෙමු. සරසවි ප්‍රේමය බොහෝ විට ඒකරාශී වන්නේ නිදහස් හැඟීම් සමුදායක් සමඟ ය. එහෙත් දැන් දැන් එය ද නිරුවත් වීමට පටන් ගෙන තිබේ. ප්‍රකට සමාජයේ සමාජ පන්ති වලින් අපගමනය වන සරසවි පෙම්වතුන් ගෙන් 20%ක් වත් ඔවුනොවුන් හා විවාහ නොවෙන බව ඔබට කීමට සිදුවේ. ස්වභාවය එයයි. ඒ සියල්ල අවසානයේ ගොඩනැගෙන්නේ අපි අර්ථ දැක්වීමට අපේක්ෂා කරන සමාජ පන්ති වටාය. ඉතින් ඒවායේ අනෙක් අන්‍යෝන්‍ය සබඳතා ගැන කවර කතා ද. අපි ඒකට ටෙලි නාට්‍ය අනුසාරයෙන් ද උදාහරණයක් ගමු, කූඹියෝ ටෙලිනාට්‍යයේ මුල් කාලයේදී ජෙහාන් ට හමු වන පැරණි සරසවි මිතුරිය ගැන ඔබට යමක් කීමට තිබේ. ඇය විවාහ වී සිටිය ද පිරිමින් ගැන සංකීර්ණ කාරණාවක් ඇය දැනගන්නේ ජෙහාන් ගෙනි. ඒ මිතුරුකමේ හැටිය. දැන් ඊළඟ කාරණාව ඇත්තේ ඈ විවාහ වූ තැනැත්තාට ඇති සල්ලිය ගැන ය. තම විශ්වවිද්‍යාල උපාධියට කිසිදු සම්බන්ධයක් නැති ඉංජිනේරු උපාධිධාරියෙකු හා ඇය විවාහ වෙයි. අපි මේ කියන්නේ කලකට ඉහත මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පැවති මිතුරු සබඳතා ගැනය. ඒ කෙසේ වූවත් ඒවා සරසවි ප්‍රේම කතා නොවේය. අංජනා සරසවියේදී ආදරය කරන්නේ ඇගේ කණ්ඩායමේ ම හික්කාට ය. එහෙත් අපි කතා කරන පන්ති බෙදීමේ න්‍යාය ක්‍රියාත්මක වෙමින් ඇය අයගේ දෙමාපියන් මාර්ගයෙන් අරවින්ද හා විවාහ වෙයි. මේ සියලු දෙනා ඔබට මට සැබෑ ලෙසම සරසවි කුටුම්බය ඇතුලේදී හමු වෙන සත්‍යම, සරල මානුශීය රූ කැටයම් ම බව කිය යුතුය. විශ්වවිද්‍යාල වලින් පිටවන උපාධිධාරියා මුහුණ දෙන්නේ පශ්චාත් විශ්වවිද්‍යාල කුටුම්බකරණ සංකීර්ණයට ය. ඒ අපේ කතාවක් නොව ජෙහාන්ගේ ය. වරක් අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න කියා සිටි පරිදිම මේ සියළු කුලකයන්ගේ සම්බන්ධයක් අවසානයේදී අපි අපේක්ෂා කරමු. මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇත්තෙන්ම අපිට පෙනෙනා තරම්, අපි පිටින් දකිනා තරම් ලස්සන නැත. මහා දැවැන්ත ක්‍රීඩාංගණ, සුවිසල් ගොඩනැගිලි, දේශන ශාලා සරසවි පද්ධතිය ලස්සන කරන බව සැබෑ ය. මහා දැවැන්ත වෘක්ෂ ලතාවන්, ස්වභාවික භූමි පිහිටීම් සරසවි ලස්සන කරන බව සැබෑ ය. එහෙත් අපි දකින විශ්වවිද්‍යාල ජීවියා ඒ තරම් ලස්සන නැත. ඌට තරම් පරිපාලන ව්‍යුහයෙන්, සමාජයෙන් පහර වදින්නේ නැතුව ඇති මේ රටේ හිඟන්නෙකුටවත්. ඉතින් මේ සියල්ල ඉවසා සිටින සැබෑ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කිසිසේත්ම ලස්සන විය නොහැක. ලස්සන ඌට කියන නම පමණකි, “විශ්වවිද්‍යාල ශිෂ්‍යයා”.



විශ්වවිද්‍යාල පද්ධතියේ හැමදාමත් සිදුවන්නේ ඛේදවාචක. රටේ පරිණත මිනිස් අවශ්‍යතා වෙනුවෙන් ඔවුනට වසර 40කටත් වැඩි කාලයක සිට අදටත් පාරට බහින්නට සිදුවී තිබේ. ඒ කතාව අන්තගාමී අදහසක් යැයි කීමට ඇඟිල්ල දික් කරන ඕනෑම පුද්ගලයෙකුට එය අපේ නාසයේ කෙලවර තෙක් ගෙනැවිත් නවත්වන ලෙස දන්වා සිටිමු. මිනිස් ප්‍රජාව ගැන අප්‍රමාණ ප්‍රේමයක් ඇති එවුන් විශ්වවිද්‍යාල වලට එන්නට ඕනෑ නැත, සෑම විටම එසේ වන්නේද නැත. අපි දකින, අපි දැක්ක අරගලය, විප්ලවය, සමාජවාදය, සමානාත්මතාවය අදටත් අපි විශ්වවිද්‍යාල පද්ධතියේ දැකීමට ආශා කරමු. අපි මනුශ්‍යත්වය බෝම්බයක් ලෙස ඒ කුටුම්බය ඇතුලේ ම පුපුරනවාට කැමැතිය. එහෙත් එය සමාජවාදයම විය යුතු නොවුණත් එය එකිනෙකා කෙරෙහි මැරෙන තුරාවට බැඳෙන ආගමික බැඳීමක් වනවාට අපි කැමැතිය. එකිනෙකා අදහන තරමේ පිවිතුරු මානසිකත්ව ඇති එවුන් අද සරසවි වල හරිම අඩු ය. උන්ගේ යටි හිතේ අදෘශ්‍යමාන කැත බලාපොරොත්තු මලු පිටින් පුරවාගෙන සිටිති. මේ සියල්ලට මේ මේ යැයි පෙන්වීමට දෘශ්‍යමාන සාක්ෂි නැතත් හද කලකිරවන පිලිකුල් සහගත ප්‍රකට සමාජයීය තරඟයට මුහුණ දී සිටින ඔවුහු පිරිසිදු හෘද සාක්ෂිය අමු අමුවේ දිය කර හරිති. අපිට පවතින ක්‍රමය වෙනස් කිරීමේ හැකියාවක් නැතත් අපිට එහි පුංචිම පුංචි හේතුවක් වෙන්න පුළුවන් වෙයි කියන අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා. මිනිසුන් අපිට ආදරේ කරන්න ඕනේ කියන එක වැදගත් සාධකයක් නෙවෙයි. මොකද මිනිස්සු හැමෝම කාගෙන් හරි ආදරේ, සැලකිල්ල ලබන්න හරිම පිපාසයකින් ඉන්නවා. අපිට ඇත්තේ අනුකම්පාවක්, කලකිරීමක්. විශ්වවිද්‍යාලයක් ඇතුලෙදි කොල්ලෙක්ට වෙන්න පුළුවන් නරකම දේ බීමට, මතට ඇබ්බැහි වෙන එක නෙවෙයි, කෙල්ලෙක් ගැහැනියක් වෙන එකත් නෙවෙයි, මැරෙන එක. විශ්වවිද්‍යාලෙට එන එකා ඉන් පිටවෙද්දි ඉන්නෙ මැරිලා නම් ඌට මේ රටාව ගැලපෙන්නෙ නැතුව යනවා. මිනිහෙක් මැරෙනවා කියන්නේ ආකල්ප මැරෙනවා කියන එක. ආකල්ප මැරෙන්නෙ නෑ, ආකල්ප මරන්න ඕනෙ. කිසිදු පොදු හැඟීමක් නැතුව උසස් පෙල කරන එකා නිකම්ම විශ්වවිද්‍යාල පද්ධතියට එන්නේ දහසක් බලාපොරොත්තු ඇතිවය. ඒ එන එකාගේ ඔළුවට දමන්නේ තනිව සරසවි අධ්‍යාපනය ලැබිය නොහැකි බව ය. ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ උද්දාමයට පත් පාදඩ වදන් අසන් ඕනෑම එකෙක් එයට එහෙයි කියනු ඇත. එහෙත් බාගෙට බාගයක් විශ්වවිද්‍යාල වල උන් ඉගෙනගන්නේ පට්ට පාළුවෙනි. 75-80% එවුන් කෑල්ලක්, කොල්ලෙක් සෙට් කරගන්නේ ඒ පාළුව යන්නට ය. එය හුදෙක් ම තෙවන වසර වන විට අනිවාර්යය කාරණාවක් බවට පත් වෙයි. තනිකඩ වූ ප්‍රජාව වැල රේට් තබති, මල් පූජා කරති, ඇඳුම් මහති, ධර්මය මෙනෙහි කරති, ජෝඩු වලට විසිල් ගහති, කුණුහරප කියති, සියල්ලෝම අවසානයේ එකට එකතු වී විනෝද චාරිකා යති, ඒවායේදී හද්දා ගොඩයෝ ෆෝම් වෙති; එහි කිසිදු වරදක් ද නැත; නිදහස් අධ්‍යාපනය එදා සිට ක්‍රියාත්මක වූයේ ගමේ ගොඩේ කොල්ලන්ට, කෙල්ලන්ටත් සරසවියේදීත්, ඉන් පිටතදීත් ආඩම්බරයෙන් විසිල් එකක්, හූවක් තියන්නට, සින්දුවක් කියන්නට පුළුවන් වටපිටාවක් සාදා දෙන්නට ය, ඊට අමතරව වෙන අප්‍රසන්නම, කැතම සිදුවීම වන්නේ පොශ් වීමට නොවිඳිනා දුක් විඳීමයි. තමාගේම සහජ අනන්‍යතාව පාළු කරමින් වැදගැම්මකට නැති සමාජශීලීත්වයන්ට ඔවුහු යටත් වෙති. කණගාටුවට කාරණාව වන්නේ සරසවි ආදර කතා, මිතුරු සබඳතා ද අද ඒ පොශ් ලේබලය ඔස්සේ කුඩුපට්ටම් වීමට පටන්ගෙන තිබීමයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා රටේ ප්‍රබුද්ධ අනන්‍යතාවක් විය යුතු බව අපි තරයේ ම විශ්වාස කරමු. එසේ නොවෙන විට තමාට කිසිදා නොගැලපුණු සම්ප්‍රදායක හිර වන ශිෂ්‍යයෝ අප්‍රමාණ මානසික පීඩාවන්ට පත් වෙති. සීමිත පිරිසක් හැරුණු කොට හුඟක් දෙනෙක් දන්නෙ නෑ මේවායේ දි ආත්මයක් මියැදෙන්න තරම් දරුණු මානසික පීඩනයන්ට, බ්‍රොයිලර් ක්‍රමවේදයන්ට උන් උන්වම පත්වෙනවා කියන එක. පීඩනයක් දරාගන්න බැරි එකා අපේ රටේ හංවඩු ගහන්නෙ පිස්සෙක්, උන්මත්තකයෙක් හැටියට. අපි නොදන්නවා වුණාට විශ්වවිද්‍යාල වල උන් මාර විදිහට පරිත්‍යාග, සමාජසේවා වැඩ කරන්නේ, අනාථ නිවාස, දුෂ්කර පාසල් වලට උදව් කරන්නෙ ඇත්තටම හිත හදාගන්න, උන් ඉන්න කියාගන්න බැරි මානසික පීඩනයන්ට හිලව් වෙන්න, හිතගන්න නෙවේ කාගෙවත්, ඒත් උන් අතරෙම ඉන්නවා පිරිසක් ඒක තමා උප සංස්කෘතිය, ඒක සමාජ මෙහෙවරක් කියලා සමාජයට මතු කරන්න උත්සාහ දරන පිරිසක්. සත්‍යය මතු කර පෙන්වීමට අවශ්‍ය නැහැ. එය හරියටම රබර් බෝලයක් වතුර යට ඔබාගෙන ඉන්නවා වගේ දෙයක්, කොච්චර උත්සාහ කරත් උඩට මතු වෙනවා. සත්‍යයට පැවැත්මක් මිසක කාලයක් අවශ්‍ය නැහැ. මතුකරලා පෙන්නන්න බැරි තරමේ ආත්මාර්ථකාමීත්වයක් ඇතැම් සරසවි ශිෂ්‍ය සහෝදර සහෝදරියන්ගේ ජීවිත වල අපි දැකලා තියෙනවා. ස්වයංසිද්ධව ආදරේ, රැකවරණය දෙන්න බැරි තරමේ ආකල්ප, හැඟීම් සමුදායක් සමහර අවස්ථාවලදී අපි දැකලා තියෙනවා. මේ රටේ පන්ති භේදය ලංකාවේ විශ්වවිද්‍යාල ඇතුලෙ නැහැයි කියන එක පට්ටපල් බොරුවක්. මොකද අපි හැමදාමත් දැකපු තුන්වෙනි පන්තිය, මැද පන්තිය, ඉහල පන්තිය හැමදාමත් අපේ ලේ වල තියෙනවා. විශ්වවිද්‍යාල වල ඉහලම පන්තිය ඇකඩමික් පන්තිය යැයි සමහරු සිතති. එහෙත් සත්‍යය එය නොවේ. එය ධනපති පන්තිය සමඟ එකතු වූ විට පමණක් එසේ වෙයි. අපි මේ රටේ ධනපතියන්ට ඊර්ෂ්‍යා කල යුතු නැත; ඔවුහු බොහෝ දෙනෙක් අපි සිටි කුලකයේම සිට ඉහල සමාජ ස්ථරයන්ට සංක්‍රමණය වූවෝ වන බැවිනි. මේ රටේ මිනිසුන් ධනවත් විය යුතු ය. එහෙත් එය පහල සමාජ පන්තිය අන්ත දුකකට ඇද දමමින් නොවෙන බව අපි තරයේම විශ්වාස කරමු. කෙසේ හෝ පරාර්ථකාමී ගති ඇති විෂයේ දක්ෂයින් නොසිටින්නට අදටත් අපේ රටේ බොහෝ දෙනෙකුට උපාධිය සිහිනයක් බව කිව යුතු ය. එහෙත් තමාට කුප්පි දමමින් විෂය පරිත්‍යාග කල උන් තඹ දොයිතුවකට ගණන් නොගෙන ඉන්නා උන් අපි ඕනෑ තරම් දැක ඇත්තෙමු. ප්‍රකට සමාජයේ කුහක, ආත්මාර්ථකාමී සම්ප්‍රදායන් විශ්වවිද්‍යාලය කැත කරන බව අවධාරණයෙන් ම කිව යුතු ය. එබැවින් තමාට ප්ලේන්ටියක් පිරිනැමීමේ සිට සටහන් ලබාදෙමින් විෂය කරුණු කියා දුන් එකා දක්වාම විශ්වවිද්‍යාලයේ සිටිනා මිනිසුන් ගෞරවයෙන් මතකයේ තබා ගැනීමට තරම් පරමාදර්ශී චරිතයක්, ස්වයං සිද්ධ මානසික සමබරතාවක් ඇති උන්ගෙන් විශ්වවිද්‍යාල පද්ධතිය ලස්සන වනවාට අපි කැමැතිය.



විශ්වවිද්‍යාලෙක ආචාර්යවරයෙක් කියන්නෙ අපි දකින හුරුබුහුටි වැදගත් මිනිස්සු ම නොවෙන්න පුළුවන්. එහෙම මිනිස්සු ඉන්නෙ හරිම අඩු ප්‍රමාණයක්. ඒත් ඒ තමා මේ රටේ ඉන්න උගත්ම මිනිස්සු. ඒ මිනිස්සු මේ රටේ ඉන්නෙ බොහෝ විදේශ රට වලින් ඔවුනට ඉල්ලුමක් තිබෙද්දි. ඒත් එහෙම රට හැරලා ගියපු විශාල ප්‍රමාණයක් ඉන්නවා කියලත් කියන්න ඕනෙ. එහෙත් ශිෂ්‍යයින්ට උගන්වන ආකාරය හා ආයතනික වශයෙන් එම පරිපාලන ක්‍රමවේදය නිවැරදි නොවෙන බව ඔවුනට නොතේරීම පුදුමයට කරුණකි. මේ රටේ විශ්වවිද්‍යාල වල උගන්වන්නේ ආචාර්යවරු නැතිනම් ශිෂ්‍යයින්ම ද යන ගැටළුව අපට ඇත. 80%ක් සරසවි සිසුන් විභාග සමත්වන්නේ කුප්පියෙනි. එය හරි උජාරුවෙන් කතා කල යුතු දෙයක් යැයි සරසවි සිසුන් සිතුවද මේවා ඛේදවාචක බව අපි මතක් කර සිටිමු. මේ ගැන අපි දන්නා දේශපාලන ඉතිහාසයේ ඊයේ පෙරේදා කතා කල පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඉගැන්වීමට ඉගැන්විය යුතු යැයි කියූ ප්‍රකාශයට අපි අත්පුඩියක් ගසමු. අපි විසිල් ගහන්නේ අදහස් වලට මිස මිනිස්සුන්ට නොවේ. ආචාර්යවරුන්ගේ ක්‍රමවේදය නිවැරදි නම් විභාග ආසන්න වන විට සිසුන් පිස්සුවෙන් මෙන් කුප්පි දැමිය යුතු නැත. 75%ක් දේශන වල කියන මොන බම්බුවක් වත් සිසුන්ට තේරෙන්නේ නැති බව අපි දැඩි විශ්වාසයෙන් කියමු. කලකට පෙර එලෙස කියන දේ යන්තම් හෝ තේරෙන විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් සිටියේය. ඒ මහචාර්ය නලින් ද සිල්වා ය. විනාඩි විස්සකට වඩා දේශනය නොපවත්වන මහාචාර්යවරයා ඉතුරු කාලය භාවිතා කරන්නේ සිසුනට පවතින දේශපාලන තත්ත්වය පැහැදිලි කිරීමට බව අපි අසා ඇත්තෙමු. එහෙත් මහාචාර්යවරයාගේ  දේශපාලනය ගැන අපි කිසිත් නොකියමු.
විශ්වවිද්‍යාලයේදී ශිෂ්‍යයෝ දේශපාලනය කරති. එහි හරි හෝ වැරැද්දක් ගැන කීමට පෙර ඔවුන් කරන්නේ දේශපාලනයම ද යැයි අපිට ඇසීමට සිදුවේ. මේ රටේ පක්ෂ දේශපාලනය තරම් පිළිකුල් සහගත මතෘකාවක්, පොදු වැසිකිලියක් අපි දැක නැත. ඒ ඔබත් අපත් මේ ව්‍යුහයේ ගොදුරක් වී සිටින නිසාවෙනි. මොලය වෙහෙසවා ලිපිකරු, බැංකු රැකියා කරන ලක්ෂ ගණනක් මිනිස්සු උදේ හවස දුම්රිය, බස් වල යන්න දාඩිය වගුරුවති. මේ රටේ මිනිස්සු ගැන අපි අපිම අනුකම්පා සහගත වෙන්න ඕනෙ. ඒ න්‍යාය නොතේරෙන මිනිස්සු පක්ෂ වලට බෙදී බහුභූත කරති, පිස්සු නටති, කොටසක් සරසවි සිසුන් ද ඒ ප්‍රවාහයේ ම ගොදුරක් බවට පත්ව සිටිති. අපිට කලකිරෙන්නේ එය උන් දේශපාලනය යැයි රැවටී සිටින නිසාවෙනි. දේශපාලනය උතුම් කර්තව්‍යයක් බව කියා සිටිමු. උන් හිතන්නේ දේශපාලනය යනු සමාජවාදය බව ය, ට්‍රොට්ස්කිවාදය බව ය, කොමියුනිසම් බව ය, ලිබරල් වාදය බව ය. රටක දේශපාලකයන් යනු සමාජ සේවකයන් බව අපෙ රටේ අදටත් බොහෝ පිරිසක් දන්නේ නැත. එය ග්‍රාමීය ප්‍රදේශ වල වැඩිපුරම දකින්නට ලැබෙන තත්ත්වයකි. දේශපාලකයා රජයේ සේවකයෙක් මට්ටමේ සිට ක්‍රියා කල යුතු වටපිටාවක් මේ රටේ අද හෙට උදාවන්නේ නැත්තේ ඒ නිසාය. විශ්වවිද්‍යාලයට එන එවුන් දේශපාලනයේ ගොදුරක් වනවාට අපි කැමැති නොවුණත් ඇතැම් ඌන දේශපාලනය ඇති සරසවි වල පක්ෂ දේශපාලනික අවශ්‍යතාවන් වක්‍රාකාරයෙන් ක්‍රියාත්මක වෙයි. නවක වදය ගැන ඇඟ හොලමන් වන පුවත් අපි අහන්නේ, දකින්නේ එවැනි අත පෙවීම් නිසා බව අපි විශ්වාස කරමු. එක අතකින් ගත් විට මේ සිදුවීම් අපේ රටට නුහුරු නුපුරුදු නොවේ. අපි 70 වසරක් පුරාවටම රවටන්ගෙන් හා රැවටෙන්නන්ගෙන් පිරුණු ජාතියක් ලෙස බොහෝ විනෝදයෙන් හා සතුටින් ජීවත් වෙමින් සිටිමු.

"අපි කලාව, දේශපාලනය, ආගම හා අධ්‍යාපනය පටලවාගත් ජාතියක් වී මිනිසුන්ට එලිපිටම වෛර කරමු, පඳුරු අස්සේ, පෙම් උයන් වල, රූම්ස් වල හොරෙන් ආදරේ කරමු, අමුව වපුරමු, පුහු දේවල් නෙලා ගමු, ජය!"

- පුරවර ප්‍රවාද -


Wednesday, January 10, 2018

කලාව 2 - ඇබ්බැහිය Sri Lankan arts, habituation & obsession




"හුඟ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි, මේ කලා නිර්මාණ කලාකරුවන්ගෙ හදවතට කොහෙන්ද එන්නෙ කියන එක. මිහිරි ගී තනු, වචන කොහෙන්ද එන්නෙ කියන එක.
බේතෝවන් කිව්වෙ, මේ සියල්ල පැමිණෙන්නේ දෙවියන්ගෙන් කියලා. එහෙත් මා නම් කියන්නෙ, මේ සියල්ල පැමිණෙන්නේ වේදනාවෙන් කියලා.
මුතු ඇටයක් බවට පත්වෙන්නෙ, බෙල්ලෙකුගෙ බෙලි කටුව තුල සිරවූ වැලි කැටයේ වේදනාව.
ඔවුහු ගී ගයමින් වේදනාව උගනිති යි, කිව්වෙ ශෙලී."

- වදීශ, සමනල සංධ්වනිය -
කලාව, සංගීතය, ගායනය ගැන හුඟ දෙනෙකුට තියෙන්නෙත් මෙන්න මේ වගේම කිසිදාක නොවිසඳෙන ගැටළුවක්. මේ ත්‍රිත්වය තුනක් නෙවෙයි, එකක් කියලා කියන්නටයි ඕනෙ.
නිසදැසක් රසවිඳීමේ සිට සම්භාව්‍ය සිනමාවක් රසවිඳීම දක්වාම තියෙන්නෙ එකම මානසික න්‍යාය පත්‍රයක්. ඒක හරියට එකම ගීතයක තනුවක් වගේ, සංගීතය වගේ, හදවත සංගීතඥයෙක් වෙන, තනු නිර්මාපකයෙක් වෙන, එහෙත් කාගේ හෝ පද රචනාවකින් ඇසෙන ගීත නාදයක්, අපි, අපේ කරගෙන රස විඳින.
හදවත රස විඳින අනන්‍ය ගී තනුවට, සංගීතයට අපි කලාව යැයි කියමු.!

UN Environment

ලෝකයේ බොහෝ කලාවන් තියෙනවා. එහෙත් ඔබ විශ්වාස කරන එකක් නෑ සියල්ලම කලාව බව. එක්තරා විදිහක ඉන්ධනයක්, වින්දනයක්, කලාවයි. ඇතැම් විටෙක ඔබ පිළිගැනීමට කැමැති වුණත් අකැමැති වුණත් ස්වයංවින්දනයක්, මෛථුන සේවනයක් කලාව තරම් ඇබ්බැහියක් නොවෙන්න පුළුවන්. එහෙම වෙන්න හොඳටම ඉඩකඩ තියෙනවා. ස්වයංසිද්ධ කලාව අතිශයින්ම ඇබ්බැහි වෙන සුළුයි.

National Trust

කිසිම කලාකාරයෙක් හොඳ මිනිහෙක් වෙන්නම ඕනෙයි කියලා නියමයක් නෑ. නරක මිනිහෙක් වෙන්න ඕනෙත් නෑ. එහෙම වෙන්නෙ සමාජයට වෛර කරන මිනිස්සු. කලාව කියන්නෙ ඇදහීමක් නෙවෙයි. ආගමක් නෙවෙයි. ඒක අදහන්න ඕනෙ දෙයක් නෙවෙයි. කොහොමත් ඒක කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. ඒක හරියට බුදු දහම "අදහනවා" වගේ දෙයක්. ඒකටම කියන්න ඕනෙ, මිනිස්සු හැමවෙලාවකම විශ්වාස කරන්නේ විශ්වාස කලයුතු දේ නෙවෙයි. අවිශ්වාස කලයුතු දේත් නෙවෙයි. සතුටට පත්විය හැකි දේ පමණයි. මව, පියා හෝ සමීපතමයෙකු මිය ගිය විට අපි එය පිළිගැනීමට බොහෝ මැලි වන්නේ ඇයි! මිය ගිය සමීපතමයා නොමැතිව ජීවත් වීමට මනස සකස් වේ යැයි යන හැඟීම නොමැතිව අපි එවැන්නක් කිසි කලෙකත් විශ්වාස නොකරමු. ඇතැමුන් එවැනි අවස්ථාවල දී උමතුවෙන් මෙන් හැසිරෙන්නේ සත්‍යය විශ්වාස කිරීමට තරම් සන්දර්භයක් මනසේ ගොඩනැගී නොමැති නිසාවෙනි. විශ්වාසය හා සතුට යනු එක ඉත්තේ අඹ වාගේ ය, චන්ද්‍ර මණ්ඩලය හා චන්ද්‍රයා වාගේ ය. සතුට අනුභවයට අවශ්‍ය කාරකයක් ලෙස විශ්වාසය ක්‍රියා කරන බව කිව යුතුය. බොහෝ කාලයක් එක දිගට නිරතවිය හැකි ක්‍රියාදාමයන් අපි කලාව ලෙස හඳුන්වමු. මිනිසුන් තැනෙනු ලබන්නේ වින්දනයන් ලැබීමට ම වේ. කිසිදු මිනිස් හිතක් සතුට ප්‍රතික්ෂේප කරගෙන ජීවත්වීමට නූපදියි. උමතුවෙන් සිටින මිනිසා පවා වෑයම් කරනුයේ සතුටින් සිටීමට ම වේ. මිනිසුන් නරක් වන්නේ ඇයි දැයි යන ගැටළුව හැම විටම පැන නගින්නකි. සරලම හේතුව කලබලය, හදිස්සිය යි. කිසිම විටෙක මිනිසුන් නිවී සැනසිල්ලේ නරක් නොවේ. එසේ සිටින කිසිවෙක් නරක් වීමේ සන්දර්භයක් ඇත්තේම නැත. කලාව ගැන ව්‍යක්තව හිතන්න අවශ්‍ය නෑ. මිනිසුන් තනනු ලැබිය යුත්තේ කලාව ගැන සිතීමට නොව රස විඳීමට හැකි වීමට ය.

Finestkind Clinic and fish market - blogger

සංගීතය අහන්න, විඳින්න හැකියාවක් ඕනෙ. හැකියාවක් කියන්නේම ශික්ෂණයක්, ඉවසීමක්. එසේනම් එයත් අධ්‍යාපනයක්. සරලම අදහස කලාව කියන්නේ අධ්‍යාපනයක්. ආදරේ කරන්න ගොඩාක් දේ තිබෙන මිනිස්සු අතින් වැරදි සිද්ධවෙනවා හරිම අඩුයි. මෙතෙන්දිත් එහෙමයි. රස වින්දනය උපරිම ව තියෙන කෙනෙක් ට අළුතින් හොරකම් කරන්න දෙයක් නෑ, අල්ලගෙන ඉන්න දෙයක් නෑ. ඇස් දෙක හොඳට පේන, කන් දෙක හොඳට ඇහෙන, ආදර හිතක් තියෙන ආත්මයක් කලාවත් එක්කම නිරායාසයෙන් බැඳෙනවා.

www.leonardodavinci.net

තමා නිවැරදි වීමට ගන්නා හැම උත්සාහයකදීම අසාර්ථක වීමේ හේතුවක් තියෙන්න පුළුවන්ද කියලා මිනිස්සු තර්ක කරනවා. එහෙත් ගොඩ දෙනෙක් අඩු තරමින් තමන් සාර්ථක ද, අසාර්ථක ද කියලාවත් හරියට දන්නේ නෑ. මිල මුදල්, දේපල තිබීම සාර්ථකත්වයේ එක සන්ධිස්ථානයක් විතරයි. ඒක කොටසක් විතරයි. ඒත් එක්කම ජීවිත කියවීමක් මෙන්න මේකයි කියලා කියන්න පුළුවන් විදිහේ මනුශ්‍ය ප්‍රකාශනයක් මිනිහෙක් තමන්ට පමණක් ආවේණික වෙද්දි තියෙන්න ඕනෙ. ඒ හැම දෙයක් ම මුදලට ලඝු කරන්න අමාරුයි. මිනිස්සු තමන්ටම කියලා ස්වයං ප්‍රේරිත කලාවක් තමන්ගේ විඥානය ඇතුලෙ හදාගන්නවනම් රටක සිද්ධවෙන අපරාධ ඇත්තටම අඩුකරන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ කලාව කියන්නේ අධ්‍යාපනයක් කියලා. මෙලොව උපදින හැම මිනිහෙක්ටම කලාව උද්දීපනය කරන්න පුළුවන් මානසික සම්භාවිතාවක් තියෙනවා කියලා අපි පිළිගන්න ඕනෙ. ඇල්බට් අයින්ස්ටයින් වගේම හිට්ලර් වුණත් පපුව මැද්දට තුරුළු කරගෙන වයලින් වාදනය කරේ ඒ නිසා. රෝමය ගිනිගද්දි නීරෝ වීණා වාදනය කරේ ඒ නිසා. හිට්ලර් තරුණ කාලෙ පිස්සුවෙන් වගේ චිත්‍ර ඇන්දෙ ඒ නිසා වෙන්න පුළුවන්. මයිකල් ආන්ජලෝ තම ස්ත්‍රී සංඥාව නිසදැසකට පුංචි කරලා ඇයට කවී ගී ලිව්වෙ ඒ හින්දා. මයිකල් ආන්ජලෝට වගේ ම ඩාවින්චිට ත් මොනාලීසා දිහා බලගෙන මානසික ස්වයං ස්ත්‍රී සංඥාවක් ඇතිකරගන්න පුළුවන්කම තිබුණා.

ABS-CBN News

රටක් දියුණුයි කියන්න පුළුවන් ඉතාම ප්‍රයෝගික සාධකය කලාව බව සිතෙන්නට පුළුවන්. එහෙත් එය ඉන්දියාවට, භාරතීය කලාවට හාත්පසින්ම වෙනස් විවේචනයක් දෙනවා. ලෝකයේ පැරණිම කලාවන් තියෙන්නෙ ඉන්දියාවෙ. එහෙත් එහෙ මිනිස්සු ඇත්තටම ඒ කලාවන් රස විඳිනවද කියන ගැටළුව මතු වෙනවා. අපේ රටෙත් හැමදාමත් දළුලාගෙන එන කලා අංකුර කුහක විචාරක පැලැන්තියක් නිසා ගිලා බැස්ස අවස්ථා ඕනේ තරම් තියෙනවා. රස වින්දනය ලබා දීමට විභව්‍යතාවක් තියෙන කලා නිර්මාණ වලට මතුවෙන්න නොදෙන්නෙ මේ රටේ බහුතරයක් මිනිස්සුන්ගේ වෙනසක් ප්‍රතිස්ථාපනය කරගන්න තියෙන නොහැකියාව නිසා. ඒකට බලපාන ලොකුම හේතුව තමා මිනිස්සු සංස්කෘතිය, සදාචාරය ගැන කෑ ගහන්නෙ කිසිම විචාරයක් නැතුව, අධ්‍යාපනයක් නැතුව. විචාරයක් කිරීමට මිනිස්සුන්ට ඇගැයීමක් කිරීමේ හැකියාවක්, තමා ගැනම ස්වයං චරිතාපදානයක් කිරීමේ හැකියාවක් තියෙන්න ඕනෙ. මිනිස්සු ගොඩාක් වෙලාවට කෑ ගහන්නෙ, බනින්නෙ, නිර්දය ලෙස විවේචනය කරන්නෙ කිසිදු හේතුවක් නොදැන. පුහු මතවාද වලින් පිරුණු, පිළුණු වූ ප්‍රතිපත්ති අපේ රටේ ඕනෑවටත් වඩා තියෙනවා. කවුරු, කොහොම ඒ දේ විවේචනය කරත් ඒක තමා මේ රටේ තිත්ත ඇත්ත. ඒ අපරාධය ම එදා 71 කැරැල්ලේ ඉඳන් ම මේ දක්වා අපේ රටේ මාධ්‍ය කලාවත් ගිලගෙන තියෙනවා. රෝස පාට බිම්බෝ කෙල්ලෙක් ව ඇඬවීමේ හැකියාව කලාව නෙවෙයි, තද නිල් පාට කළුගල් වගේ කොල්ලෙක් ව ඇඬවීමේ හැකියාවත් කලාව නෙවෙයි. තමා තුල සිටින සත්‍ය ම මානුශීය සත්ත්වයා මතුකර පෙන්වීමට හැකියාව ඇති දේ කලාව යි. කලාව මානුශීය යි. විවේචනය කර පවත්වා ගැනීමේ හැකියාවෙන් යුතු කලා කෘති ලංකාවේ බිහිවෙන්නේ හරිම අඩුවෙන්. නූතනයේ එහෙම කලා ගැබවල් ලංකාවේ නැහැ කියන එක පට්ටපල් බොරුවක්. මිනිස්සු හරි කැමතියි හිනාවෙන්න, අනුන්ට! අපි රටක් විදිහට කලාව පැත්තෙන් ඉන්නේ ඒ වගේ ඛේදවාචකයක. හිනාවිය යුත්තේ කොමඩිය ට මිස පුද්ගලයා ට නොවන බව අපි දන්නේ හරිම අඩුවෙන්. ඒකයි මේ රටේ හරි මිනිහට ත්, වරදි මිනිහට ත් එදා ඉඳන් ම අපි එකවගේ හිනාවෙන්නෙ. මේ පුංචි දූපත ඇතුලෙ වැවෙන්න පුළුවන් කලා පැලෑටි උදුරලා දැම්මේ මේ රටේ ජඩ මාධ්‍යකරණය. ඒක මුලින්ම වුණේ කොයි කාලෙද කියලා කියන්න හරි අමාරුයි. ඒත් ඒක දර්ශීයව මිනිස්සුන්ට දැනෙන්න ගත්තෙ 2010 අවුරුද්දෙන් පස්සෙ. විදේශීය කලාව මෙහෙත් එක්ක පෑහෙන්නට පටන් ගත්තේ මේ කාලයේ ය. ඉන්දියානු, කොරියානු, ජපාන කතා මාලා අතරින් මේ රට ට පැහැදිලි මානසික බලපෑමක් කරේ ඉන්දියානු ටෙලි නිර්මාණ යි. ආවේගශිලීත්වය, ද්වේශය, කුහකත්වය, ඊර්ෂ්‍යාව ඇතුළු සෘණාත්මක ආකල්පයන් මෙරට ට සම්ප්‍රේශණය වීමේ උත්ප්‍රේරිත මාධ්‍ය මේවායි.


Smarterware

මිනිස්සු ඉන්දියානු මෙගා ටෙලි නාට්‍ය  බාරගන්න හරිම කැමැත්තෙන් හිටියා කියලා කියන්න අමාරු වුණත් මාධ්‍ය විසින් ඒ කාර්යභාරය හරියට ම ඉෂ්ඨ කරා කිව්වොත් හරියට ම හරි. රටක මාධ්‍ය හසුරුවන්න ඕනේ නියාමනයක් ලංකාවේ තියෙනවාද කියලත් හිතන්න අමාරුයි. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හරියට නැති රටේ ජන මාධ්‍ය නියාමනයක් හරියට වෙයි කියලා අපිට කියන්න බෑ. සියල්ල දේශපාලනික වූ විට අපිට නිදහස් මාධ්‍ය කලාව ඉබේ ම වාගේ අහිමි වූ බව කණගාටුවෙන් වූව ද කියන්නට සිදු වේ. මෙහි ප්‍රබල ම බලපෑම ට පත් වූයේ රටේ අත්දැකීම් අඩු කලා කරුවායි. අධ්‍යක්ෂකවරයා ගේ සිට පහල ම ශිල්පියා දක්වා ම අපි කියනා මාධ්‍ය මාෆියාව ට හසුවූ බව කියන්න ට සිදුවේ. ජ්‍යෙෂ්ඨ ම කලාකරුවා පවා අසරණ වන ලෙස මේ රටේ දේශීය කලාව මාධ්‍ය ආයතන ඔස්සේ අඩු මුදල ට වෙන්දේසි වෙමින් තිබේ. මේ සඳහා වූ හොඳම හාස්‍යෝත්පාදක පැහැදිලි කිරීම අපිට දැකගන්නට ලැබුණේ පසුගිය වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී චූටි මල්ලී හා පොඩි මල්ලී විසින් ඉදිරිපත් කරන ලද ස්ටෑන්ඩ් අප් කොමඩියෙනි. හැකි නම් එය නරඹන ලෙස අපි ඔබෙන් කාරුණික ව ඉල්ලා සිටිමු.


Pixabay


ඉන්දියානු මෙගා ටෙලි නිර්මාණ ඉතා අඩු මුදලකට හුවමාරු වන වෙළඳපල මාධ්‍යකරණය ගැන ඔබට එහිදී යම් චිත්‍රයක් මවා ගැනීමට හැකි වේ යැයි සිතමු. ශ්‍රී ලංකාවේ බහුතර පුද්ගලික මාධ්‍ය ආයතන කලා නිර්මාණ වල ප්‍රමිතිය(විශෙෂයෙන් ම විදේශීය මෙගා ටෙලි නිර්මාණයන්හි) ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැති බව හොඳාකාරව ම පෙනෙන්නට තිබේ. ඒ කෙසේ වූවත් ඉඳහිට හෝ ප්‍රබුද්ධ නිර්මාණකරණයේ නිරතවන කලාකරුවන් ගේ නිර්මාණ දකින්නට ලැබීම සතුටුදායක තත්ත්වයකි. දේශීය මෙගා ටෙලි නිර්මාණ පවා නූතනයේ ගොඩනැගෙන්නේ ඉන්දියානු ආභාෂයෙන් මෙරට පැලපදියම් වූ යම් යම් ඌන සම්මත සමාජ ප්‍රමිතීන් තුල සිට බව පෙනෙන්නට තිබේ. එහි වරද නූතන තරුණ පරපුරේ යැයි කිව නොහැකි ය. එය තිර පිටපත් රචකයාට ම පැවරිය නොහැක. කතා තේමාව පවත්වා ගැනීම සඳහා රචකයා ට ඇතැම් විග්‍රහයට ලක් නොකර යුතු තරමේ ලාමක කාරණා පවා කතාව තුලදී ඇගැයීමට සිදුවේ. මෙගා ටෙලි නිර්මාණයක් වූව ද කිසිසේත් ම හැඟීම් පාර්ශවයෙන් අගතියට යා යුතු නොවේ යැයි යන්න අපේ අභිමතයයි. එය කිසිසේත් ම ඔබේ මතය නොවෙන්නට පුළුවන. සම්මතයේ පිරිමින් විසින් මෙගා ටෙලි නාට්‍ය නරඹන සම්භාවිතාව අඩුයැයි ඔබට සිතෙන්නට පුළුවන් වූවත් සෑම විටකදී ම එය එසේ නොවේ. යමක් විශ්ලේෂණය කර අවබෝධකර ගැනීමේ කොටස අඩු ටෙලි නාට්‍ය පිරිමින් විසින් බැලෙන්නේ ඉතා අඩුවෙනි. එහෙත් එය ආදර සම්බන්ධයක බැඳුණු මුල් අවධියේදී හාත්පසින් ම වෙනස් වීමට පුළුවන. ගැහැනුන් සම්බන්ධයෙන් මේ ගැන තව බොහෝ දිගට විචාරය කිරීමට සිදුවේ. එබැවින් එහි මුක්ත අර්ථය එම ඉඟියෙන් ම වටහා ගැනීමට ඔබට බාර කරමු.

CBC.ca

කලාව ගැන රටක් ලෙස අපි මීට වඩා සැලකිලිමත් විය යුතු කාලයකි මේ ගෙවෙන්නේ. අපි සිනාසිය යුතුය, ඇඬිය යුතුය, රසාත්ම භාවයට පත් විය යුතුය. ඒ සියල්ලම අපි දකින්නේ කලාව ලෙසයි. අපි කලාව ගැන මේ තරම් කතා කරන්නේ එය රටක් සංවර්ධනයේ, මානුශීය ආකල්ප ඇති කිරීමේ, මිනිසුන් හැඩගැස්වීමේ මූලික උපායක් වන නිසාවෙනි. මේ රටේ සිනමාව ගැන, මාධ්‍යකරණය ගැන අපිට තවත් බොහෝ දේ කතා කිරීමට ඇති බව කිව යුතුය.

අපි නූතන කලාව විවේචනය කරන මෘගයෝ නොවෙමු. එහෙත් මෘග කලාවන් දැක දැකත් මුනිවත රකින සම්භාව්‍ය නිර්මණකරණයේ යෙදෙන ප්‍රබුද්ධ කලාකරුවන් මේ සියල්ලට මූලිකත්වය ගත යුතු බව අපි විශ්වාස කරමු. ඔවුනට මේ රටේ තරුණ පරපුර සමඟ ගණුදෙනු කිරීමේ හැකියාවක් හා මානසික සන්දර්භයක් ඇතිකර ගැනීමේ ශක්‍යතාවෙන් යුතු තරුණ විචාරක පිරිසක් ගොඩනැගීමට ඇති විභවය අපිට හොඳාකාරව ම පෙනෙන්නට තිබේ. එය සති අන්තයේ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂක පිරිසෙන් හොඳාකාරවම සත්‍යාපනය වේ.

අපිට හාස්‍ය කලාව අවශ්‍ය යි, අපිට බයිලා කලාව අවශ්‍ය යි, අපිට කැලිප්සෝ කලාව අවශ්‍යයි. වේදිකා නාට්‍ය, සිනමාව, ටෙලි නාට්‍ය කලාව මේ සියල්ලම තියෙද්දි ත් අපිට ප්‍රබුද්ධ යැයි කිව හැකි අපේ අනන්‍ය කලාවක් අවශ්‍යයි. අපිට ම ආවේණික ක්‍රමයකට රටක් සංවර්ධනය කල හැකි වන්නේ තනි තනි පුද්ගලයා තුල ගොඩනැගෙන කලා රසඥතාවය මත බව පැහැදිලි කරගත යුතු කාරණාවකි.

RapidGems

- පුරවර ප්‍රවාද -


නිදහසේ ශිල්පය ගැන තෙල් කතාවක්..! A story of unity & love, for new state university candidates and freshers

Location - Department of Mathematics, University of Colombo මේක අළුත් බලාපොරොත්තු දළුලන කාලයක්. එක පැත්තකින් 2018 අවුරුද්දෙ උසස් පෙළ ව...