Wednesday, June 13, 2018

මුලතිව්වෙන්, පෙයර් මන්දීර්! (I'm Mandheer from Mullaitivu, Sri Lanka) - A Short Story




Daily Mail


අහස සහ පේඩි ගෙවල් සමූහය කෙලවර වෙන ග්‍රීෂ්මීය ක්ෂිතිජය යා කලේ මාන්දරයාගේ දෑස් බැල්මේ දිළිඳු බවයි. "උඹ අද ඉස්කෝලෙ යන්ඩ කල්පනාවක් නැද්ද!", ෆයිසල් අප්පාගේ ගොරහැඬි කටහඬ ඇහෙද්දිම මගේ කල්පනාවට ආවේ "ආශාවරී" ය. සංගීත පාඩමේ දී ආශාවරී රාගය ගැන කියද්දී ඇය මා හා කෝලකමින් හිනා වූ හැටි තවමත් හොඳට මතක ය. එක් ශ්‍රේණියක් මට වඩා පහලින් සිටියා වූවද සියළු දෙනාටම සංගීත අභ්‍යාස කරවන්නේ එකට බැවින් පාසල් වේලාවෙන් පසු සවස ඇය හා සමීප වීමේ සුන්දර වූ තහනම් අවසරයක් සංගීත ගුරුවරිය විසින් ලබා දී තිබිණි. දැකීමේ නැවුම් ආශාවක් ඇතිකිරීමට ආශාවරීට පුළුවන. රාධා අම්මා මගේ අම්මා ය. කුඩා කල සිට මව හා පියා ඇමතීමට මා හුරු වී සිටියේ නම් වලිනි. එහෙත් කිසිදා ඔවුන්ගෙන් ඒ ගැන විමසා නැත. "ද්‍රවිඩ - කොල්ලො ඉක්මනට ගිහින් ලෑස්ති වෙයන්, සිංහල - අදත් නොගිහින් ඉන්ඩ ද උඹ හදන්නෙ" එවර රාධා අම්මා ය. "ද්‍රවිඩ - රාධා අම්මා, ඉන්ඩ පොඩ්ඩක්, තාම හයයි නෙ, සිංහල - උඹ අද හරිම ලස්සනයිනෙ රාධා අම්මෙ!", මඳ වේලාවක් ඇය දෙස බලා සිට මම කීවෙමි. "ද්‍රවිඩ - අනේ නිකන් පලයන් කොල්ලො, මාව චාටුවට අල්ලගෙන අදත් උඹ ගෙදර ඉන්ඩ ද හදන්නෙ", ඒ රාධා අම්මාගේ මුහුණේ සුපුරුදු ආදරබර සිනහවයි. රාධා අම්මාගේ මව් පියන් අලිමංකඩ සටනේදී මියගියේ එල්ටීටීඊ වෙඩි පහරින් බව ඇය කියයි. ෆයිසල් අප්පාට ඇය හමුවූයේ එකල මුලතිව් යුධ සරණාගත කඳවුරේදී ය. ෆයිසල් අප්පා දන්නා මාමා කෙනෙකු මාර්ගයෙන් අගනුවර පදිංචියට ඉඩ සැලසුණු බවත් ඇය මට පවසා ඇත.ඒ වසර විසි පහකට පෙර ය.එහෙත් බොහෝ කලක් ඔවුනට දරුවන් නොසිටි බව මට දැනුණේ මගේ වයස ගැන කල්පනා කල විටදී ය.

වෙලාව ඔන්න මෙන්න තියෙද්දී පාසලට පිටත් වූ මම, කුණු ඇල හරහා වූ කළු වැදුණු දිරා ගිය යකඩ පාලමෙන් එගොඩ වී දිව ගියෙමි. එය ද කර්කෂ වූ මගේ ජීවිතය මෙන් දුවන විට බොල් වූ බැරෑරුම් හඬක් නගයි. අහම්බෙන් මෙන් විවේකයේදී ආශාවරී දුටුවෙමි. "අදනම් උඹ ඕකිගෙන් අහන්ඩම ඕනෙ, නැත්නම් මං ඕකිගෙන් අහන එක අහනවම තමා පුතේ", අරවින්දයගේ හඬ ඇසූ මම, "එල්ලනව උඹව මං" කීවෙමි. කවීෂ හා එකතු වූ අරවින්ද "අනේ නිකන් පලයන් බන්, කෙල්ලව හරියට එල්ල ගන්න බැරි එකා අපිව එල්ලයි ද". නැවතත් ආශාවරීගේ කොඩුකාර බැල්ම මා වෙත ය. "අහපන් යකෝ, ගිහින් කතා කරපන් මොනවා හරි, පිරිමියෙක් වෙයන්, මිනිහෙක් වෙයන් පලයන්", එවර ඔවුන් දෙදෙනා නොව මම ම මට හිතින් කිවෙමි. "පලයන් පලයන්, ඔන්න ඒකි හිනා වුණා, දැන් ලයින් වෙලා ඉන්නෙ පුතේ, හ්ම්ම්ම්ම්ම්.." ඒත් මම මය. "ඒ මොකක්ද බන්, මන්දා!, ස්ස්, ඕයි, පලයන් යකෝ", එවර කවීෂයා ය. මව ද්‍රවිඩ වූවත් පියා මුස්ලිම් වූවත් මං කතා කලේ සිංහල ය. ඉගෙනගත්තේ සිංහල සාහිත්‍යය ය. ඉන්නේ සිංහල කොල්ලන් එක්ක ය. ඇය ළඟටම ගොස් "මේ, ආශාවරී.. මේ අද හවස එනව ද?", "හ්ම්ම්ම්, කොහාට ද?", ඇය ආයාචනාත්මක බැල්මකින් මා දෙස බලාගෙන විමසයි. මා ද්‍රවිඩ භාෂාව දන්නා බව ඇය නොදනී. "කොහාට නෙවෙයි, ඔයාට කිව්වෙ", "ආහ්, මේ ඒ කිව්වෙ, මේ", ආශාවරීගේ හිත චුම්බනය වන කාන්තිමත් වූ ප්‍රශ්නාර්ථ බැල්මක් මා දෙසට එල්ල වුණි. "ආහ්, මේ, කොහා කිව්වෙ කුරුල්ලා ගැන ද ඔ ඔයා..", ඇයට කට කොණකින් අත වැසූ බකල් හිනාවක් ගියාය. මම දෙතොල් තද කලා වූ සිනාවකින් හිස සැලීමි. ඒත් සමඟම කවීෂ හා අරවින්දයා දෙස බලා ඇස් වලින් කිණ්ඩියට හිනා වීමි. "හවස පන්ති එනවද කියලා ඇහුවෙ", "ඔව්ව්, එන්න තමා ඉන්නෙ, යේ ඔයා අයියෙ එන්නද ඉන්නෙ", ඒ ආශාවරීගේ භාෂාවයි. ජෝතිමත් දෙනෙත මා මත් නොකරන්නට, මම ඇගේ සිංහල ගුරුවරයා වීමට ඉඩ තිබිණි.

සවස ඇය දකින විට උදෑසන දුටු නෙත්කලු දෑස් බැල්ම මට එලෙසම සිහිපත් කරවීමේ මායාකාරී ලාලිත්‍යය ඇය සතු විය. "මං ආදරෙයි කෙල්ලෙ!", මම හිතින් කියා ගත්තෙමි. මෙතරම් ද්‍රවිඩ කොල්ලන් සිටින රටේ ජන්මයෙන්ම සිංහල වතුර මෙන් කතා කරන මුස්ලිම්-ද්‍රවිඩ පවුලක එකෙක් වූ මා හා හිතවත්වීමේ චුම්බක යාන්ත්‍රණය ඇයට පිහිටියේ දෛවෝපගතව යැයි මම මටම ඇඟෙව්වෙමි. "ආ..., උදේ දැක්කා වගේමයි තාමත්", "හ්ම්ම්ම්.. මට තේරුණේ නෑනෙ?", විස්මයාදී බැල්මකින් ඇය විමසන්නට විය. "නෑ, නෑ, මම කිව්වෙ මහන්සි පාටයි ඔයාට", ඇයට මා කියන එක භාෂාව නිසා නොතේරෙන්නේද, එසේත් නැතිනම් සම්මත කෙල්ලන් සියල්ලටම කොල්ලන් හා හාද වීමට ආසන්නයේදී වැලඳෙන නොතේරීමේ රෝගයදැයි  මට හරි හැටි තේරුම් ගැනීමට නොහැකි විය. වරක් අරවින්දයා මට කීවේ "කෙල්ලො මචං සෙට් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි උඹ කියන කිසිම දෙයක් හරියට තේරුම් නොයන තත්ත්වෙකට එනවා, බබා පාර්ට් දාන්ඩ උත්සාහ කරනවා උඹ ඉස්සරහ, උඹව දැක්කම හීන් හිනාවක් යනවා, මනුස්සකමට යන හිනාවක් නම් නෙවේ පුතේ ඒක, හරිද", අරවින්දයා දෙස මම විමතියෙන් යුතුව ගොන් මීමා ලෙස බලා සිටි ආකාරය සිහිපත් වූ මට ආශාවරී දෙස බලා සිටිද්දීම හිනාවක් ගියේය. "ඇයි..... ඉනාවෙන්නෙ?", "ඉනාවෙන්නෙ?",මම නොදන්නා බයිලෙකින් ඇයට කීවෙමි. "අයියෝ.. ඔයා හිනා වුණේ ඇයි කියලා ඇහුවෙ?", කිසිත් කියාගැනීමට නොහැකිව මම සිනහවකින් මුනිවත රැකිමි, "නිකම් හිනා ගියා". "ආ.. එහෙමත් හිනාවෙනවා ඔයා??", ඇයගේ හිනාවට මත් වූ මම ඉවත බලා ගතිමි. "මොකද යකෝ ඇඹරෙන්නෙ, මොනාහරි කියපන්, දැන් මේ දෙමලෙන් නම් මොකුත් කියන්න එපා පුතෝ කෙල්ල අප්සට් යයි, ගුලි කාල කියන්නත් බෑ, මොකක්ද කියන්නේ..", මම හිතින්ම තර්ක කලෙමි.

මේ.. ආශාවරී, මට දෙයක් කියන්න තියෙනවා ඔයාට.., "මොකක්ද අයියෙ ඒ?", "මට ඔයා දකිද්දි මොනවද දන්නවද මතක් වෙන්නෙ!", "හ්ම්ම්", ඒ ඇගේ විස්මය මුසු මුහුණයි. "මේ හරියට රස කෑමක් දැක්ක වගේ හැඟීමක් දැනෙනවා අප්පා", "මොකක්?", මට හීන් හිනාවක් ගියේ ආශාවරීගේ රැවීම තුල තිබූ සියුම් ආදරය දුටු නිසාවෙනි.

Groundviews



හවස මොන හේතුවක්ද මන්ද ඇය පැමිණියේ නැත. මට ඒ ගැන විමසීමට අවස්ථාවක් ආවේ පන්ති අවසන් වීමෙන් පසුවය. "මේකි ආවෙ නෑනෙ බන්!", "අනේ මන්ද බන් අපි කොහොමද හොයාගන්නෙ මොකද වුණේ කියලා", එවර කවීෂයා ය. "මේ අර බලපන්, ඒකිගෙ යාළුවො නේහ්, ඈහ්, මොකද බන් ඒ?", "ඇයි මොකෝ අවුල, අප්පටසිරි, උන් මොකද ඒ කණාටු වෙල ඉන්නෙ", අරවින්ද හා කවීෂව නිහඬ කල මම, "පොඩ්ඩක් හිටපන්, උන් අපිව දැක්ක". ඇගේ මිතුරියක් අපි අසලටම පැමිණ, "පොඩි කරදරයක් වෙල යෙයාට, එයා නුවරනෙ, ගෙවල් පැත්තෙ පොඩි කලබලයක්", "ආහ්, මේ කෝ දැන් එයා?", "එයා කලින් ගෙදර ගියා". ඒ සමඟම අරවින්ද දෙස බැලූ මම, ඔහුගේ මුහුණේ විස්මය සාධාරණීකරණය කරමින් හිස සැලීමි. "ඔයා දන්නවද එයා ඉන්න තැන", "හ්ම්ම්.. ඔව්, අපි දැන් යන්න හදන්නෙ, එහෙ කර්ෆිව් දාලා කියල දන්නවද ඔයාලා". මම නැවතත් කවීෂයා දෙස බලා පිලිතුරක් හිතා ගතිමි. උදේ කවීෂයා කිව්වෙ කොල්ලෙක්ට ගහල ඇඩ්මිට කරලා දවස් ගාණක් අයිසීයූ ඉඳලා මැරුණු සිද්ධියෙන් ඒ පැත්තෙ කොල්ලො කලබල වෙලා කියලා. ඒත් මොකක්ද මේකට ඒකෙ තියෙන සම්බන්දෙ. "පොඩ්ඩක් වරෙන්කො, බොට පොඩි දෙයක් කියන්න තියෙනවා", එවර අරවින්දයා මාව ඇදගෙන පසෙකට ගියේය. "මේ බලපන්, උඹ කලබල වෙයි කියලා හිතලා අපි මොකුත් නොකිව්වෙ, ගෙදර අම්ම තාත්තට මොකුත් මේ ගැන කියන්ඩ එපා උඹ, හරිද", "මැරිච්ච් කොල්ලට ගහලා තියෙන්නෙ මුස්ලිම් කොල්ලො සෙට් එකක්ලු බන්", "ඉතින් මොකක්ද බන් අවුල?", "අහපන්කො, ඒකට ඒ පැත්තෙ සිංහල කොල්ලො කලබල වෙලා, මුස්ලිම් කඩ, ගෙවල් ගිනි තියනවලු, ඒත් අපි දෙන්නම දන්නෙ නෑ මේක ඒ කෙල්ලටත් අවුලක් වෙලා කියලා, ඒකි දෙමල නෙ බන්, ඒත් ඒකිගෙ තාත්ත මුස්ලිම් ලු", "ඈහ්.. උඹ කොහොමද දන්නෙ", "මේ කෙල්ලමයි කිව්වෙ". මොහොතකට කල්පනාවේ නිමග්න වීමට පසෙක වූ ගල් බැම්මෙන් වාඩි වූ මම, "මගේ අම්මයි තාත්තයිත් එහෙමනෙ", හිතින් මටම කියාගතිමි. ඇගේ මිතුරිය නැවතත් අපි අසලට පැමිණ, "එයාගෙ තාත්තගෙ කඩේ ඔක්කොම ගිනි තියලලු, ගෙදර කියලා එහා පැත්තෙ පුංචි කාමරේක ඉඳලා තියෙන්නෙ, දැන් ඉන්න තැනක්වත් නෑ, පව් එයා හොඳටම අඬනවා", "එයා මෙහෙ කොහෙද ඉන්නෙ?", එවර කවීෂයා ය. "බොරැල්ලෙ, එයාගෙ බෝඩිමේ හිටපු මුස්ලිම් ගර්ල් කෙනෙක්ගෙ අයියා කෙනෙක් කඩයක් ඇතුලෙම අළු වෙලාලු", "මේ, මොනවද බන් මේ ඇහෙන්නෙ". මගේ අඬන්නට මෙන් බෙරි වූ මුහුණ දෙස බලා අරවින්දයා, "මේ මේ මං කිව්වනෙ බන් උඹට, රිලැක්ස් වෙයන්කො ඉස්සෙල්ලා"

"යමන්කො", "කොහෙද?", "මට ඒකිව බලන්න ඕනෙ", "හරි යමන්කො එහෙනම්", "දැන් එයාගෙ ගෙදර අය කොහෙද ඉන්නෙ?", මම ඇසීමි. "තාම හරියට දන්නෙ නෑ අපිත්, කොහෙද අශාවරී මොකක් කියන්නවත් ඔළුව උස්සනවැයි, එක දිගටම අඬනවා, කෝල් කරලා කියලා තියෙන්නෙත් එයාගෙ මාමා කෙනෙක්, වැඩි විස්තරයක් කියල නම් නෑ", එවර අගේ මිතුරිය පිළිවදන් දුනි.

බෝඩිමට යන විටත් ඇය සිටියේ ඇඬූ කඳුලිනි. ඇගේ මිතුරිය දෙස පමණක් හිස ඔසවා බැලූ ඇය "ද්‍රවිඩ - අපේ අම්මලා කතා කලාද?, තාත්තාට කොහොමද", "ද්‍රවිඩ - බය වෙන්න එපා කෙල්ලෙ, ඒගොල්ල හොඳින් ඉන්නවා කියලා කිව්වනෙ", "ද්‍රවිඩ - අනේ අනූ මට එහෙ යන්න ඕනෙ, මට අම්මයි තාත්තයි බලන්න ඕනෙ, යමුකො", "ද්‍රවිඩ - පිස්සු නැතුව ඉන්න ළමයො, කර්ෆිව් දාලා තියෙද්දි ඔයා ගිහින් ඔයාටත් කරදරයක් වෙයි", "ද්‍රවිඩ - අනේ අනූ!". ආශාවරීගේ ආයාචනාත්මක බැල්ම දෙස බලා සිටි මට සියොලඟම පුපුරන්නට එනවා මෙන් හැඟීමක් දැනෙන්නට විය. මම සම්පූර්ණයෙන් හිරිවැටී සිටියේ ඇයටත් වඩා ඇගේ පවුලට සිදුවූ විනාසය දරාගැනීමට හෝ විශ්වාස කිරීමට නොහැකි වූ මානසිකත්වය හේතුවෙනි. අරවින්දයා දෙස මඳකට හැරුණු මම, "දැන් මොකද බන් කරන්නෙ", "උඹ මේ, උඹ දැන් කලබල වෙලා ඉන්නෙ, හොඳම දේ දැන් අපි යමු, කෙල්ලට කොහොමත් කරදරයක් නෑනෙ, ඒකිගෙ අම්ම තාත්තත් හොඳින් ඇතිනෙ, යමන්කො", "එහෙම කොහොමද බන්!", "මේ අහපන්, දැන් අපි මෙතනෙ ඉන්න එක එච්චර හොඳ නැහැ, කෙල්ලො විතරනෙ බන් බෝඩිමේ ඉන්නෙ, අපි තවත් මෙතනෙ හිටියොත් වෙන ප්‍රශ්නයක් ඇති වෙයි". මම දෙගිඩියාව පසෙක ලා යන්නට පිටත් වීමි. එහෙත් ආශාවරී මෙවැනි මොහොතක තනි කිරීමට සිදුවීම සියුම් හිත් පීඩා ඇති කරන්නට විය.

රාත්‍රියේ කවීෂයාගේ බෝඩිමේ නැවතීමට සිදු වූයේ ෆයිසල් අප්පාට හෝ රාධා අම්මාට මා සිටි ව්‍යාකූල මනසින් යුතුව මුහුණ දීමට හැකියාවක් මට ඒ මොහොතේ නොතිබූ නිසාය. පසු දින උදෑසන නැවත ඇය බලන්නට යන්නට සිත් වූවත් කවීෂයාගෙන් ඊට ඉඩක් ලැබුණේ නැත. එබැවින් ඔහුත් මමත් අපේ ගෙදරට ආපසු එන විට සිටියේ රාධා අම්මා පමණි. ඇය සිටියේ හඬමින් වූ බැවින් කවීෂයත් මමත් එකවර විස්මයට පත්වී බලා සිටියෙමු.

"ද්‍රවිඩ - අනේ බලපන් පුතේ වෙල තියෙන අපරාදෙ, නුවර පලාතෙ කලබලේකින් අප්පගෙ මාමගෙ පුතාගෙ ගේ ඔක්කොම පිච්චිලා ගිහින්ලු, දෙයියනේ, දෙවියොම බලාගන්න ඕනෙ ඒ මල්ලිව", "ද්‍රවිඩ - රාධා අම්මෙ, මො.. මොනවද මේ කියන්නෙ, මොන මාමද, ඇයි මේ..", "ද්‍රවිඩ - අප්පට මෙහෙ ඉන්න ගේ හදල දුන්න මාමගෙ පුතා, අනේ පවු දෙයියනේ", "ඇයි දැන් මොකද මේ.. මේ වෙලා තියෙන්නෙ මොකක්ද කියල කියල ඉන්ඩකො රාධා අම්මෙ", "ද්‍රවිඩ - අප්පා මෙහෙට එද්දි ඔය මාමා තමා උදව් කරේ ගොඩක්, එයාගෙ පුතා ජීවත් වුණේ නුවර පලාතෙ, දැන් ගොඩක් කල් එහෙ පදිංචි වෙලා, අනේ බලන්ඩ, දෙයියන් වහන්සේම බලාගන්න ඕනෙ මේ අපරාදෙ, දූ පොඩිත්තකුත් ඉන්නවා ඒ මල්ලිට, දැන් කොහොමද ඒ කෙල්ල ඉගෙනගන්නෙ, අඩෙ අප්පා..", රාධා අම්මා සියල්ල හඬමින්ම විස්තර කලාය. "ඒ මන්දා, ඒ පාර මොකද බන් වෙලා තියෙන්නෙ", කිසිත් නොතේරුණු කවීෂයා හඬ අවදි කලේය. "මොකුත් තේරෙන්නෙ නෑ බන්", මම සුසුමක් ලමින් ඉවත බලාගෙන කීවෙමි. "ඒ කිව්වෙ", කවීෂයා ය. ඔහු කිවූ දෙය නොඇසුනා මෙන් "ද්‍රවිඩ - රාධා අම්මේ, දැන්.. දැන් ෆයිසල් අප්පා කෝ?", "අප්පා උදේම නුවර යන්ඩ පිටත් වුණා, පාන්දරම ගියේ", "ද්‍රවිඩ - අයියෝ රාධා අම්මේ, ඇයි එයාට යන්න දුන්නෙ, බලන්ඩකො දැන්.. දැන්.. එහෙ ඇඳිරි නීතිය දාලා කාටවත් යන්න දෙන්නෙ නෑ", "ද්‍රවිඩ - අයියෝ අප්පා.. මයෙ ෆයිසල්.. අයි අයියෝ..", "ද්‍රවිඩ - රාධා අම්මෙ, මේ අනේ කලබල නොවී ඉන්නකො, එයාට කරදරයක් වෙන එකක් නෑ", "ද්‍රවිඩ - ඒත් අප්පා, අනේ අප්පේ..", රාධා අම්මා නැවතත් ඉකි ගසමින් හඬන්නට විය.

"ද්‍රවිඩ - රාධා අම්මා ඉතින් දැන් නාඬා ඉන්නකො", ඇය සනසන අතරතුර කවීෂයා ඇමතූ මම, "මේ බලහන්කො බන්, මාර අවුලක් ඒ පාර, අප්පගෙ මාමගෙ පුතාගෙ ගේත් කලබල හින්ද ඔක්කොම ගිනිතියලලු, අප්පා උදේම නුවර ගිහින්". වික්ෂිප්තව මා දෙස බලා සිටි කවීෂයා, "මොකක්, මේ මොකක්ද බන් මේ ඒ පාර වෙලා තියෙන්නෙ, අප්පට නුවර යන්ඩ දුන්නෙ ඇයි ඉතින් රාධා අම්මා", "රාධා අම්මා මොකුත් දන්නෙ නෑ බන්, මේ කලබලේ ගැන, අප්ප දැනගන්ඩ විදිහකුත් නෑනෙ, මොකුත්ම විස්තරයක් ප්‍රවෘත්ති වලින් කියන්නෙත් නෑනෙ, අප්පා දන්නෙ මල්ලිට කරදරයක් වෙල කියල විතරයි, ඒ ඇසිල්ලෙම නුවර යන්ඩ ඇති", "මේ දැන් මෙතන ඉඳලා හරි යන්නෙ නෑ, පුළුවන් ඉක්මනට ගිහින් කෙල්ල ගැනත් විස්තරයක් දැනගෙන අප්පව හොයාගමු, ගොඩක් වෙලාවට පොලිසියෙන් හරවලා එවයි ආපහු", බොහෝ සෙයින් කලබලව සිටි මා සැනසීමේ අටියෙන් කවීෂයා කියූ දෙයට එකඟ වූයේ කිසිවක් කල්පනා කිරීමේ මානසිකත්වයක් ඒ මොහොතේදී මට නොතිබූ නිසාවෙනි. "ද්‍රවිඩ - රාධා අම්මා ඉන්න, මන් ගිහින් විස්තර හොයල බලල එන්නම්", "ද්‍රවිඩ - අනේ පුතේ උඹලා පරිස්සමින්", ඇය කියූ දෙය නොතේරුණත් තේරුණා මෙන් හිස සැලීමට කවීෂයා මම වෙනුවෙන් ඉදිරිපත් විය. "ද්‍රවිඩ - මේ රාධා අම්මෙ, මට ෆයිසල් අප්පා ගිය තැන ලිපිනය දෙන්ඩකො", "ද්‍රවිඩ - උබට මොකටද ඒක?" සැකමුසු මුහුනින් ඇය විමසන්නට විය. පසෙකින් සිටි කවීෂයා, "මොකක්ද උඹ ඔය ඉල්ලන්නෙ?", "අප්පගෙ ඇඩ්‍රස් එක බන්". එවිටම කවීෂයා, "අනේ රාධා අම්මා මේකයි, ෆයිසල් අප්පව හොයාගන්න පොලිසියට කියන්න වුණොත් අපිට ගිය තැන ගැන විස්තරයක් එපැයි, ඒකයි". "හ්ම්ම්.. ඉන්ඩකො එහෙනම්", යැයි කියූ රාධා අම්මා ගෙතුලට ගොස් ලිපිනයක් ලියාගෙන ආපසු ආවාය.

ආශාවරීගේ බෝඩිමට යන විට අනූත් හඬමින් ඉන්නා ආකරය දුටු මටත් කවීෂයාටත් එය තවත් විස්මය දනවන්නක් විය. "අනූ.. ඒ පාර මොකද?", "බලන්නකො මේ කෙල්ලගෙ තියෙන මුරණ්ඩු කම, අයියෝ!", කලබල වී සිටි මාව පසෙකට කල කවීෂයා, "ඇයි ඒ පාර මොකද වෙල තියෙන්නෙ?". අඬමින් උන් අනූ දීර්ඝ විස්තරයක් කරන්නට විය, "ආශාවරී ඊයෙ රෑ ගිහිල්ල, මන් හිතන්නෙ නුවර, ඊයෙ රෑම කෙල්ල මාත් එක්ක වෙච්ච සිද්ධිය කිය කිය ඇඬුවා, ඒත් අනේ මන් හිතුවෙ නෑ මේ මෝඩි මෙහෙම ගමනක් යයි කියලා, එයාට අම්මයි අප්පයි බලන්නම ඕනෙ කියලා ඇඬුවා නොසෑහෙන්න, මට හිතුනෙම නෑනෙ". මමත් කවීෂයාත් එකවරම, "කෝල් එකක් දීලා බලන්න කොහෙද ඉන්නෙ කියලා!" යැයි ඇසූවෙමු. "එයා උදේම ගිහින් තියෙන්නෙ, නුවර යන ගමන් කියල තමා කිව්වෙ", "බලහන්කො ඉතින්, කවීෂයා මේ කෙල්ල මොකක්ද බන් ඒ පාර මේ නටන පිස්සුව", කල්පනාවේ ගිලී සිටි කවීෂයා දෙසට හැරී මම කීවෙමි.

"දැන් බන් මට හිතෙන විදිහට කරන්ඩ තියෙන්නෙ එක දෙයයි, දැන් කෙල්ලත් නුවර ගිහින් මොන මඟුලක් කරගනීද දන්නෙ නෑ, අනිත් එක බන්...", යැයි කියා කවීෂයා නතරවී කල්පනා කරන්නට විය. "ඇයි උඹ නැවැත්තුවෙ..", විමසුම් දෑස ඉවත ලා සිටි කවීෂයා එක්වරම, "ඒ ඒ ඒ.. පොඩ්ඩක් හිටපන් පොඩ්ඩක් හිටපන්", යමක් ප්‍රත්‍යක්ෂ වූ ආකාරයෙන් ඔහු කියවන්නට විය. "මොකද බන්, උඹ මොකක්ද කියන්ඩ හදන්නෙ", "ෆයිසල් අප්පාගෙ මාමගෙ පුතාගෙ කඩයක් ගිනි තිබ්බ එකයි, මේ කෙල්ලගෙ කතන්දරෙයි එකම කේස් එක වෙන්ඩ පුළුවන්නෙ බන්", "මොනවද බන් උඹ මේ කියවන්නෙ", "මොනවද නෙවේ බන්, එහෙම වෙන්ඩ පුළුවන්නෙ", මා දෙස විමතියෙන් මෙන් බලා සිටිමින් කවීෂයා කීවේය. "මේ උඹ ගාව අර ඇඩ්‍රස් එක තියෙනව නේද?, පොඩ්ඩක් ඒක දියන්කො", මගේ සාක්කුවට අත දමමින් කවීෂයා ඇඩ්‍රස් එක ලියූ තුණ්ඩුව අතට ගත්තේය. සියල්ල දෙස කිසිත් තේරුම් ගැනීමට නොහැකිව බලා සිටි අනූ, "මොකක් ගැනද යනේ යෝගොල්ලො මේ කියන්නෙ, මට නම් මොකුත් තේරෙන්නෙ නෑ", "නෑ.. නෑ.. අනූ ඔයා කලබල වෙන්ඩ එපා, ඔයාට මේක මේ වෙලාවෙ තේරුම් කරන්ඩ මට අමාරුයි, පුළුවන්නම් මට ආශාවරීගේ ගෙදර ඇඩ්‍රස් එක දෙන්න", "ආ.. මේ පොඩ්ඩක් ඉන්නකො එහෙනම්" යැයි කියූ අනූ පොතක අස්සේ තිබූ තෛපොංගල් සුබපැතුම් පතක් දිගු කලාය. "මේ මොකක්ද මේ?", "ඕක මම එයාට දුන්න එකක්, පෝස්ට් කරන්න හිටියට අතටම දෙන්න පුළුවන් වුණා", අනූ දෙස කෘතඥතා පූර්වකව බැලූ කවීෂයා මා දෙස බලා මට ඇස් වලින් යමු යැයි ඉඟියක් කලේය.

ආශාවරීගේ බෝඩිමෙන් ආපු අපි මඳක් ඇවිද ගියෙමු. "මේ දැන් මොකක්ද උඹ කරන්ඩ හදන්නෙ", "මේ බලපන්, ඇඩ්‍රස් දෙකම එකයිද කියල බලමු, මට මේක කියවන්ඩ තේරෙන්නෙ නෑ", කවීෂයා පිළිවදන් දුන්නේය. "කෝ දියන් බලන්ඩ", යැයි ඇඩ්‍රස් දෙක අරගෙන බැලූ මට කවීෂයා කියූ කතාව ඇත්ත බව පෙනුණි. "මේ.. මේ බලපන්කො බන් එකම ඇඩ්‍රස් එක තමා, ඒ කොහොමද බන් එහෙම වෙන්නෙ", "කොහොමහරි එහෙම වෙලා නෙ දැන්", මඳක් නැවතුණු කවීෂයා කල්පනා කරන්නට විය. "අද ඉස්කෝලෙ යන්ඩ වෙලාවක් දැන් කොහොමත් නෑ, අපි යමුද බන් මේ ඇඩ්‍රස් එක හොයාගෙන", "උඹට පිස්සුද වදේ, කර්ෆිව් දාලා තියෙද්දි එහෙ යන්ඩ", "මේ කෝ බන් දැන් උඹට ඒකි ගැන තිබුණු ලව් එක පෑල දොරින් පැනලා ගිහින්ද, එතකොට අප්පා, අප්පට මොකද වුණේ කියලා කොහොමද දැනගන්නෙ, එකම ඇඩ්‍රස් එකම නම් අවුලක් වෙන් නෑ කොහොමත්, අරවින්දයාට කෝල් එකක් ගමු, ඌවත් එක්ක ගියාම උඹ මුස්ලිම් කියලා අවුලක් වෙන එකක් නෑ", "ඒ මට බයයි බන්, පොඩ්ඩක් කල්පනා කරපන්කො", "උඹ හිටපන්කො, අවුලක් වුණොත් මායි, අරවින්දයයි බලාගන්නම්", අරවින්දයට ඇමතුමක් ගෙන කොටුවේදී ඔහුත් සමඟ පිටත් වීමු.


hindustantimes.com

නුවරට යන විටත් තත්ත්වය ගැන විවිධ කතන්දර අපේ කන වැකුණු බැවින් කෙතරම් ධෛර්යයක් ගමන ආරම්භයේදී තිබුණද තිදෙනාම සිටියේ හිත ඇතුලේ කකියන බියකිනි. නුවරින් බැසගත් නමුදු කලයුතු කිසිවක් සිතාගත නොහැකි විය. "මේ මට නම් දැන් දැන් අවුල් වගේ බන්", එවර අරවින්දයාය. "මේ පොඩ්ඩක් හිටපන්කො එහෙනම්, ඒ අර බලපන් ත්‍රීවීල් එකක් නම් තියේ, වරෙන්කො", ඔවුන් දෙදෙනාටම වඩා බියවී සිටියේ මමය. "අයියේ මේ ඇඩ්‍රස් එකට යන්ඩ පුළුවන්ද?", අප දෙස මඳ වේලාවක් බලා සිටි ත්‍රීවීල් රියදුරා, "මල්ලිලා කොහෙද?", "අපි මේ ලඟ අයියේ, මාමා කෙනෙක්ගෙ ගෙදර යන්ඩ ඒකයි, මේ පුළුවන්ද අයියේ, මේ වෙලාවෙ හැටියට නම් ලොකු උදව්වක්", "ඇයි මල්ලිලා දන්නෙ නැද්ද මේ ඒරියා එකේ කේස් එක, කාටවත් යන්ඩ දෙන්නෙ නෑ, කර්ෆිව්, කර්ෆිව්", "එහෙම කියන්ඩ එපා අයියෙ, අවුලක් වුණොත් අපි බලාගන්නම්", කවීෂයා කියාගෙන ගියේය. මඳක් වේලා අපි දෙසත්, ඇඩ්‍රස් කොලේ දෙසත් බැලූ ඔහු "කවුද මෙතනෙ ටැමිල් මුස්ලිම් කෙනා", "කවුරුත් නෑ අයියේ, මුස්ලිම් යාලුවෙක් තමා, අපිට ඇඩ්‍රස් එක දුන්නෙ, ඒකයි", එවර අරවින්දයා ය. මා දෙසත් ඔවුන් දෙදෙනා දෙසත් වරින් වර බැලූ ඔහුට සිංහල පෙනුමක් තිබූ මා ගැන සැකයක් ඇතිවූ බවක් නොපෙනුණි. "නගිනවා නගිනවා" යැයි කී ඔහු ත්‍රීවීලය ගෙනයන්නට විය. ඇඳිරිනීතිය දමා තිබුණද පොලිස් රැකවල් නොමැති දීර්ඝ අතුරු මගකින් අපි කියූ තැනට යාමට හෙතෙම දක්ෂ විය. "තන්ක්ස් අයියෙ,ලොකු උදව්වක්!", "මල්ලි මේ ගාන ඩබල් ඕනෙ, මං ෆුල් රිස්ක් එකේ එලෙව්වෙ, තේරෙනවනෙ", "ඔව් ඔව් අයියෙ අපිට තේරෙනවා" යැයි කියූ අරවින්දයා තවත් වාද විවාද නොකොට ගාණ ගෙවා දැම්මේය. "මේ, කියන විදිහට අරක තමා, අම්මටසිරි අළු වෙලා බන්", "යමන්කො බලන්ඩ" අරවින්දයාගේත් කවීෂයාගෙත් කතාව අසා මමද ඔවුන් අනුගමනය කලෙමි. එහෙත් ඒ වනවිටත් පොලිස් ආරක්ෂාවක් නොමැති වීම අපේ පුදුමයට හේතු විය. "කර්ෆිව් පැය හයකට අයින් කලා මල්ලි", අපි විමසූ මුස්ලිම් වැසියෙක් කීවේය. "මේ ගෙදර ඉඳපු අය කෝ අයියෙ". "දැන් ඉන්නෙ අර ගෙදර". "මේ යමන් බලන්ඩ", එවර කවීෂයා ය.

ගෙට ගොඩවන විටම මටත් කවීෂයාටත්, අරවින්දයාටත් දෑස් අදහා ගත නොහැකි වූයේ ෆයිසල් අප්පා ආශාවරී තුරුළු කරගෙන හඬනා ආකාරය දුටු විටය. එහි සිටි මහළු තැනැත්තියක් අපෙන්, "ද්‍රවිඩ - මේ ළමයි කවුද, මොකද මේ මේ වගේ වෙලාවක ආවෙ" යැයි අසුවේ හදිසියේම අපේ පැමිණීම ඔවුනට අන්පේක්ෂිත බව අඟවමිනි. ද්‍රවිඩ භාෂාව නොතේරෙන කවීෂයාත්, අරවින්දයාත් මා දෙස බලන්නට විය. ඇයට පිළිවදන් දෙමින් මම, " අපි මේ, මේ, අපි මම මේ ෆයිසල් අප්පගෙ පුතා මේ.." යැයි කියනු ඇසුණු ෆයිසල් අප්පා එක්වරම ඔලුව උස්සා බලන විට ආශාවරීද හිස එසවීය. "ද්‍රවිඩ - පුතා.. කොල්ලො, උඹ කොහෙද මෙහෙ, ඇයි උඹ මේ වෙලාවෙ මෙහෙ ආවෙ, මේ මේ.. නංගි මේ අපේ කොල්ලා", යැයි විමතියෙන් හඬ අවදි කල ඔහු දෙසත් මා දෙසත් වරින් වර හැඬූ කඳුලින් බලා සිටි ආශාවරී සියල්ලන්ටම වඩා පුදුම වී සිටින බව හොඳින්ම පෙනෙන්නට විය. "ඔයා කො.. කොහෙද මෙහෙ.. අම්මා..."යැයි කියමින් ඇය හඬ අවදි කලාය. සිදුවූ කිසිත් මටත් සගයන් දෙදෙනාටත් සිතාගත නොහැකි වූ බැවින් අපිට ඉඳගැනීමට ඇගේ මවගෙන් ලැබුණු ආයාචනය පිළිගෙන පසෙකින් වාඩි වීමු. "ද්‍රවිඩ - කොල්ලො උඹ කොහොමද මෙහෙ හොයාගෙන ආවෙ, මම මේ.. මේ.. කරදරයක් කිව්වට බලන්ඩ ආවෙ, මාම හ්", කිසිත් හරි හැටි තේරුම් ගැනීමට නොහැකිව ෆයිසල් අප්පා කියෝගෙන ගියේය. " ද්‍රවිඩ - අප්පා, මම ඔක්කොම රාධා අම්මගෙන් අහගෙන ලිපිනයත් ඉල්ලගෙන තමා මෙහෙ ආවෙ", "එතකොට උඹ මේ.. මේ.. යාළුවො", "ඔව් මාව ඒ දෙන්න තමා එක්ක ආවෙ මට මගදි කරදරයක් වෙයි කියලා"

"ඉතින් පුතේ උඹ මේ.. මේ.. රාධා අම්මට කිව්වද මෙහෙ එනවා කියලා?", "නෑ අප්පා අපි මොකුත් කිව්වෙ නෑ, කලබල වෙන නිසා" එවර කවීෂයා ය. තුවාල ලබා සිටි ආශාවරීගේ අප්පා බලන්නට අපි රෝහල වෙත පිටත් වීමු. එහෙත් ෆයිසල් අප්පාගේ මුහුණේ අපගේ පැමිණීම ගැන තිබුණේ දෙගිඩියාවකි. ආශාවරීට මාගේ හෝ හෝ මා සහෘදයන්ගේ පැමිණීම තවමත් සිතාගත නොහැකි බවක් පෙනෙන්නට විය. රෝහලට යනවිට තවත් ෆයිසල් අප්පා වැනිම වයසේ පසුවූ සිංහල ජෝඩුවක් ආශාවරීගේ අප්පා බලන්නට පැමිණ සිටි බව දුටු අප්පා තරමක් කලබල වූ බවක් පෙන්වීය. එහෙත් ඔහු ඒ දෙපල දකින අවස්ථාවේම ඔවුන්ද අප්පාව දුටු හෙයින් ඔහුට ආපසු හැරීම දුෂ්කර කාර්යයක් විය. "ෆයිසල්, ෆයිසල්.. කොහෙද යන්න හදන්නෙ?", ප්‍රසන්න මුහුනින් යුතු ඔහු අප්පාගෙන් විමසීය. "ආ මම මේ කාසිම්ට මොනාහරි පලතුරු ටික්ක ගේන්න ලෑස්ති වුණේ", "ආ ඕනෙ නෑ ඕනෙ නෑ ෆයිසල් අපි ගෙනාවා, එන්න එන්න", කලබල වූ මුහුනින් යුතු ෆයිසල් අප්පාගේ හැසිරීම මටත්, කවීෂයාටත්, අරවින්දයාටත් ආගන්තුක විය. මඳවේලාවක් ෆයිසල් අප්පා දෙසත් ආශාවරී දෙසත් මා දෙසත් වරින් වර බැලූ ඔහුත් ඇයත් මා දෙසත්, ආශාවරී දෙසත් ප්‍රසන්න වූ සිනහවක් පෑවෝය. එහෙත් මට කිසිත් තේරුම් ගත නොහැකිව සිටි බැවින් ඔවුන් දෙස තුෂ්නිම්භූතව බලා සිටියෙමි. අනතුරුව හඬ අවදි කල ඔහු, "මේ පුතා නේද ෆයිසල්, පුතා නම් අපිව දන්නෙ නැතුව ඇති නේද?", "ආ.. මේ.. මේ.. ඔව් මහත්තයා, මේ.ගොඩක් කල් නෙ දැන්", "ගොඩක් කල් කිව්වෙ", මම එවර හඬ අවදි කලෙමි. "ඇයි ෆයිසල් පුතාට තාම මේ ගැන මොකුත් කියලා නැද්ද?", එවර ඔහු හඬ අවදි කලේය. මටත් ඒ දෙපලටත් පසෙකට කතා කල ෆයිසල් අප්පා, "අනේ මහත්තයො, මම මොකුත් කියලා නෑ කොල්ලට, ඔබතුමාම කියන්න, මට නම් බෑ", හැඬීමට මෙන් ආයාචනාත්මක වූ ෆයිසල් අප්පා දෙස මඳ වේලාවක් බලා සිටි ඔහු අනතුරුව හඬ අවදි කරමින්, "පුතා දන්නවද, මට ෆයිසල්ව ඉස්සෙල්ලම මුණ ගැනුණේ මුලතිව් කෑම්ප් එකේදි, යුධ සරණාගතයෙක් විදිහට, මම විශ්‍රාමික හමුදා මේජර් කෙනෙක් පුතා, ඒ කාලෙ මම කමාන්ඩර්, පුතා දැන් ටිකක ලොකු හින්ද මේ දේවල් මම කියන්නම්, ඒ කාලෙ මුලතිව් ඔපරේෂන් ඒරියා එකේ එල්ටිටීඊ ඇටෑක් එකකින් සිංහල පවුලක් පිටින්ම මරලා දැම්මා, ඉතුරු වුණේ පුංචි මාස තුනක ළදරුවෙක් විතරයි, අපි කෑම්ප් එකෙන් බේරගත්තෙ ඒ පුංචි දරුවව විතරයි, ෆයිසල්ම පුතාට ඉතුරු ටික කිව්වොත් හොඳයි කියලා මම හිතනවා".

ෆයිසල් අප්පා මා දෙස සමාව අයදින්නාක් මෙන් බැල්මකින් බලා සිටින්නට විය. "මන්දීර් පුතේ, මට සමාවෙයන් මෙච්චර කාලයක් උඹට මේ මොකුත් නොකිව්ව එකට, මේ මහත්තයා තමා උඹව එල්ටීටීඊ එකෙන් බේරගත්තෙ", වික්ෂිප්තව බලා සිටි මා දෙස බලා ඔහු කීවේය. "ඒ.. ඒ.. කිව්වෙ?", "පුතේ, උඹ තමා මේ මහත්තයා කිව්ව දරුවා, ම.. මමයි රාධා අම්මයි බැඳලා ගොඩක් කල් යනකම් දරුවො හිටියෙ නෑ පුතේ, උඹ තමා දෙයියො අපිට දුන්නෙ, ඒ මේ මහත්තයට පින් සිද්ධ වෙන්න, ඒත් අවුරුද්දක් විතර යනකොට අපිට දරුවෙක් ලැබුණා, මේ ඉන්නෙ ඒ පොඩි කෙල්ල ආශාවරී!". පපුව පුපුරා යන්නාක් මෙන් හැඟීමක් මට දැනෙන්නට විය. සහෝදරත්වයද, ප්‍රේමයද, කලකිරීමද, කණගාටුවද දැයි හරි හැටි නොතේරෙන හැඟීම් ගොන්නක සිරවූවා මෙන් කර්කශ හැඟීමක් මට දැනෙන්නට විය. අසලින් සිටි ආශාවරීටත් ඒ හැඟීම එලෙසම දැනෙන්නට ඇතැයි මම විශ්වාස කලෙමි. ඇය ඇගේ පියා ෆයිසල් අප්පා බව දන්නා නමුදු මම ඇගේ නොනිල සහෝදරයා බව දැනගන්නා විට ඇයට කුමක් සිතෙන්නට ඇත්දැයි මම කල්පනා කලෙමි. හදිසියේම මට ඈ ගැන ඇතිවූ ප්‍රේමය ගිනිගමින් සහෝදර බැඳීමක් තෙක් දිගුදුර විහිදෙන්නට විය. අනතුරුව හඬ අවදි කල මම, "එතකොට අප්පා, මෙයා කොහොමද කාසිම් මාමගේ වුණේ?"යැයි ඇසීමි. "මමයි රාධා අම්මයි ඔයාව හදාගන්නකොටනෙ ආශාවරී දුව ඉපදුනේ, කාසිම් මාමට දරුවො හිටියෙ නැහැ, ඉතින් අපිට ඔයා ඇති කියලා හිතුණා, එයාව කාසිම්ට දුන්නා". පසෙකින් කාසිම් මාමා වේදනාව යටපත්කරමින් මානුශීය සිනහවක් අප වෙත දක්වන්නට වූයේ සතුට නිසාද දුක නිසාද යැයි හරි හැටි නොතේරේ. "මේ ඉන්නෙ ප්‍රභාත් මහත්තයයි එයාගෙ නෝනයි, උඹටයි, ආශාවරී නංගිටයි පුංචි කාලේ උගන්නන්න සල්ලි ගොඩක් වියදම් කලේ මේ මහත්තයා, ඒ කාලෙ අපි හරි දුප්පත්නෙ, ඒත් කවදාවත් අපිට ප්‍රභාත් මහත්තයා උඹටවත් ආශාවරීටවත් මේ ගැන කියන්ඩ ඉඩ දුන්නෙ නෑ, ඒත් අද ඉතින් එකපාරටම ඒ මහත්තයව මුණගැහුනා, ප්‍රභාත් මහත්තයගෙ එකම පුතා 2009 වෙල්ලමුල්ලිවයික්කාල් වලදි යුද්ධෙන් නැති වුණා", කිසිවක් ගැන දොඩමළු වීමේ උවමනාවක් නොමැතිවම ෆයිසල් අප්පා කියෝගෙන කියෝගෙන ගියේය. මටත් ආශාවරී නංගිටත් එකට මෙලෙස හමුවීමට හැකිවීම හෝ, ප්‍රභාත් මහත්තයා හමුවීම හෝ නුවර කලබලයක් වීම හෝ එක පෙලට සිදුවීම ගැන මට දැනුදු කිසිවක් නොතේරේ. විශ්‍රාමික මේජර් ප්‍රභාත් මහතා හෝ, ෆයිසල් අප්පා හෝ කවුරුන් ශ්‍රේෂ්ඨ දැයි මටනම් නොතේරේ. නැතිනම් මා වෙනුවෙන් මාගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් මා කැලයක සඟවා දිවි පිදූ මගේ අම්මා හෝ තාත්තා හෝ කොතරම් ශ්‍රේෂ්ඨ දැයි මට නොතේරේ. සිංහලයා දෙමලා හෝ දෙමලා සිංහලයා හෝ මුස්ලිම් එකා සිංහලයා හෝ මුස්ලිම් එකා දෙමලා හෝ කුමන ලෙසකින් හෝ නසන්නට අවි අතට ගනී, ජාතිය හිතට ගනී, වෛරය හදවතට ගනී, කවුරුන්දෝ බොහෝ කාලයක සිට අපව අවුස්සති, මුලා කරති, මම බලා සිටිමි, මම මා ගැන කල්පනා කරමි. මම සිංහලයෙක් වෙමි, මම මුස්ලිම් කොල්ලෙක් වෙමි, මම ද්‍රවිඩ මවකගේ ආදරණීය පුතනුවන් වෙමි. හුරුබුහුටි දෙමල කෙල්ලකගේ පලමු පෙම්වතා වෙමි, නොනිල වූ ආදරණීය සහෝදරයා වෙමි, මට දැන් නම් සිනහත් එයි. කවුරුන් කෙසේ කීවත් මම සියල්ලන් අතරේ මිශ්‍රවූ, අමිශ්‍රවූ අදහස් ඇති ශ්‍රී ලාංකිකයෙක් පමණක් බව නම් විශ්වාස කරමි. ඉතින්, මේ මගේ කතාව..

yudhanjaya()


නිදහසේ ශිල්පය ගැන තෙල් කතාවක්..! A story of unity & love, for new state university candidates and freshers

Location - Department of Mathematics, University of Colombo මේක අළුත් බලාපොරොත්තු දළුලන කාලයක්. එක පැත්තකින් 2018 අවුරුද්දෙ උසස් පෙළ ව...